චීනයේ ආර්ථික දැක්ම සංවර්ධන කාර්යයේ දී සමස්ත ලෝකයටම අදාළ කරගත හැකි මාර්ගෝපදේශ මාලාවකි
2024-01-22 15:12:22
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෙවර  චීන මධ්‍යම ආර්ථික සමුළුවේ දී ඉදිරිපත් කළ දේශනයෙන් ලොව බොහෝ රටවලට ගත හැකි පාඩම් රැසක් පවතින බව ප්‍රවීණ මාධ්‍යවේදිනී සිතාරා කළුආරච්චි මහත්මිය කියාසිටී.

2024 වසරේ රටේ ආර්ථිකය සවිබල ගැන්විය යුතු ක්‍රමවේද සහ මාර්ගෝපදේශ මාලාවක් එහිදී ඉදිරිපත් කර තිබේ. ඉන් කරුණු කිහිපයක් විමසා බැලීම කාලෝචිත ය. තාක්ෂණික නවෝත්පාදන සහිත නවීන කර්මාන්ත පද්ධතියක් ගොඩනැගීම එහි අන්තර්ගත ප්‍රධාන කරුණකි. නවෝත්පාදන යනු රටක සංවර්ධනය පිළිබඳ ප්‍රධාන සංරචකයක් වේ. එසේම නවීන තාක්ෂණයන්ගෙන් සන්නද්ධ කර්මාන්ත පද්ධතියක් සහතික කිරීම තරම් රටක ආර්ථික වර්ධනය ස්ථාවරත්වයට පත්කරන වෙනත් සාධකයක් නොමැත. උසස් තත්ත්වයේ නිෂ්පාදන ලොවට නිරන්තරයෙන්  හඳුන්වා දෙමින් චීනය එය ප්‍රායෝගිකව සනාථ කර ඇති බව ද සිතාරා කළුආරච්චි මහත්මිය පවසයි.

ග්‍රාමීය කෘෂිකාර්මික ප්‍රදේශ හා ගොවීන් පිළිබඳ වැඩසටහන් ප්‍රශස්ත අයුරින් ක්‍රියාවට නැංවීමේ වැදගත්කම ද එහිදී පැහැදිලි කෙරිණ. කාර්මික සංවර්ධනය අතින්  කෙතරම් පෙරට ගිය ද ඓතිහාසික වශයෙන් කෘෂිකාර්මික පදනමක් ඇති රටක් ඉන් බැහැර නොවීමේ වැදගත්කම මින් අවධාරණය කර ඇත. නවීන යන්ත්‍රෝපකරණ හඳුන්වා දෙමින් චීනය කෘෂිකර්මාන්තයේ නව විප්ලවීය සාර්ථකත්වයන් ලොවට කියා පාමින් සිටී. එසේම කෘෂිකර්මය හා සම්බන්ධ සාම්ප්‍රදායික උරුමයන් සුරකිමින් ඒවා ලෝක උරුම ලෙස සංරක්ෂණය කිරීමට චීනය ගෙන ඇති ක්‍රියාමාර්ග ද අතිශය ප්‍රශංසනීය වේ. ශ්‍රී ලංකාව වැනි රටකට මෙවැනි දෑ අධ්‍යයනය කිරීමෙන් ලද හැකි ආදර්ශ රැසක් පවතින බව ද කළුආරච්චි මහත්මිය පෙන්වා දෙයි.

එසේම, නව වසරට සුබ පැතුම් එක් කරමින් චීන නායකයා පැවසූ වදන්වල ගැබ් ව ඇත්තේ ද වටිනා ශිෂ්ටාචාරයකින් පැවත එන රටක අභිමානය යි. චීන ජාතිය අභියෝග රැසක් ජයගනිමින් පෙරට ආවේ අපමණ ආත්ම විශ්වාසයකිනි. එහි උල්පත ෂී ජින් පිං මහතා මනාව විස්තර කළේය.

‘ගම්බිම් සරු කරමින් ගලන කහ ගංගාවේ හා යැංසි ගංගාවේ ආශ්චර්යවත් දසුන් මේ මහපොළොවේ සමස්ත සෞන්දර්යය ඔප් නංවා ඇත. ලියන්ඡූ හා අර්ලිතෞ වැනි පුරාවිද්‍යාත්මක පරිශ්‍ර,  ශං රාජ වංශයේ නටබුන්වලින් හමු වූ පෞරාණික අක්ෂර, ලෝක ප්‍රකට සංෂිංඩුයි පුරාවිද්‍යා අඩවිය, චීන ජාතික ලේඛනාගාරය වැනි චීනයේ අනේකවිධ පෞරාණික උරුමයන් සියල්ල අපගේ ආත්ම විශ්වාසයේ හා ශක්තියේ උල්පතයි.’

අතීත වටිනාකම් රැකගනිමින් අනාගතයට යන චීනයේ සාර්ථකත්වයේ පදනම මේ වදන් ඔස්සේ මැනැවින් වටහා ගත හැකිය. තමන්ට නොගැලපෙන සංවර්ධන මාදිලි කෙරෙහි විශ්වාසය තබා තම සංවර්ධන ගමන අඩාල කරගත් ලොව ඕනෑම රාජ්‍යයකට චීනයෙන් ලද හැකි පාඩම් අපමණ ය. චීනයේ එම සංවර්ධනීය චාරිකාව මේ වසරේත් අතිසාර්ථක වේවා යි සිතාරා කළුආරච්චි මහත්මිය සුබ ප්‍රාර්ථනා කරයි. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම