තම පුළුල් වෙළඳපොළේ පවතින මහඟු අවස්ථා විදෙස් ආයෝජකයන්ට තිළිණ කරන චීනය
2024-01-18 11:15:49
Share with:

චීනයේ නව වසරේ ආර්ථික ගමන් මග ලොවට කියන මධ්‍යම ආර්ථික කටයුතු සමුළුවේ දී ‘චීනය තුළ ආයෝජනය කිරීම’යන සංකල්පය මෙවර ප්‍රථම වරට එළිදැක්වීම විදෙස් ආයෝජකයන්ට සුබ ආරංචි රැගෙන එන බව ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මැණික් අපනයනකරු’ සම්මානයෙන් පිදුම් ලද ප්‍රවීණ ව්‍යවසායක මහාචාර්ය දුමින්ද ද සිල්වා මහතා කියාසිටී.

විදේශිකයන් චීනයේ ව්‍යාපාරික කටයුතුවල නිරතවීමේ දී පවතින තත්ත්ව වැඩිදියුණු කරමින් ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගීමට ක්‍රියා කළ යුතු බවට ද එම සමුළුව මාර්ගෝපදේශ ලබා දී තිබේ. විදුලි සන්නිවේදන, වෛද්‍ය සේවා ඇතුළු සේවා කර්මාන්ත ක්ෂේත්‍රවලට පිවිසීමේ දී විදේශීය ආයෝජකයන්ට පවතින සීමා ලිහිල් කිරීමට ද චීනය පියවර ගන්නා බව එහිදී අවධාරණය කෙරිණ.

2024 වසරේ ආර්ථික වර්ධනය උදෙසා චීනය ගන්නා මේ ක්‍රියාමාර්ග ගෝලීය ආර්ථිකයට ද ඉතා හිතකර බව මහාචාර්යවරයා පෙන්වාදෙයි. චීනය යනු ලොව ඇති විශාලතම මෙන්ම ඉහළම අවස්ථා හිමි වෙළඳපොළ බව සමස්ත ලෝකයේම ව්‍යාපාරිකයන් පිළිගන්නා අවිවාදිත සත්‍යයකි. එවන් වෙළඳපොළකට පිවිසීමට ඇති ඉඩකඩ පුළුල් කීරීම ආර්ථිකමය වශයෙන් කිසියම් පසුබෑමකට ලක් ව සිටින ලොව සියලු මට්ටමේ ආර්ථිකයන්ට ප්‍රශස්ත වේදිකා විවර කරදෙනු නිසැක ය. ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන්ට ද එය මහඟු අවස්ථා හිමිකර දෙනු ඇතැයි ද දුමින්ද ද සිල්වා මහතා කියාසිටී.

චීන ව්‍යවසායකයන් හා එක්ව ක්‍රියාකිරීමේ දී එරට මේ වනවිට ක්‍රියාවට නංවා ඇති විවෘතභාවයේ ප්‍රතිපත්තිය  ද ඉතා ප්‍රශංසනීය වේ. චීනය සෑමවිටම ලෝකය හා පවත්වාගෙන යන අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගිතාව පිළිබඳ මනා අත්දැකීම් ඇති ව්‍යාපාරිකයෙකු ලෙස, චීනය හා එක්ව ක්‍රියාකරන්නැයි ගෝලීය ව්‍යවසායකයන්ට ඇරයුම් කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා බව ද මහාචාර්ය දුමින්ද ද සිල්වා මහතා පවසයි. චීනය යනු ප්‍රතිපත්තිගරුක මෙන්ම විශ්වසනීය හවුල්කරුවෙකි.

2024 වසරේ චීනය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා ඉහළින් වර්ධනය වනු දැකීම තම අපේක්ෂාව බව ද හෙතෙම අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම