චීනය ඉදිරිපත් කරන්නේ සැබෑ කරගත හැකි ඉලක්කයි
2024-01-17 15:04:25
Share with:

චීනය ඉදිරිපත් කරන ඉලක්ක සැබෑ කර ගත හැකි ඉලක්ක යැයි යළි වරක් ඔප්පු වී තිබෙන බව චීන ශ්‍රී ලංකා වාණිජ මිත්‍රත්ව මණ්ඩල සභාපතිවරයා පවසයි. චීන දළ දේශීය නිෂ්පාදිත වටිනාකම 2023 දී පෙර වසරට සාපේක්ෂව සියයට 5.2 ක වර්ධනයක් වාර්තා කර ගැනීමට සමත් වී ඇත. එය චීනය එම වසර වෙනුවෙන් අපේක්ෂා කළ සියය‍ට 5ක වර්ධන ඉලක්කයද අභිබවා යාමකි. ඇතැම් බටහිර හිතවාදී පාර්ශ්ව චීනයට මෙම ඉලක්කය ඉටු කර ගැනීමට ඇති විවිධ අභියෝගයන් හුවා දක්වමින් යම් අවිනිශ්චිතභාවයක් නිර්මාණය කිරීමට ද උත්සාහ දැරූහ. එම සියල්ල බැහැර කරමින් චීනය සිය ඉලක්කය වෙත යාමට සමත්ව ඇතැයි චීන ශ්‍රී ලංකා වාණිජ මිත්‍රත්ව මණ්ඩල සභාපති බණ්ඩාර දිසානායක මහතා කියා සිටී. චීනය අභ්‍යන්තර හා බාහිර වශයෙන් පවතින විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් මෙම සාර්ථකත්වය අත්කර ගැනීමට සමත්ව තිබේ. ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය සියයට 5ක් වැනි වර්ධන වේගයක් ළඟාකර ගැනීමට සමත්වීම චීනයට පමණක් නොව ලෝක ආර්ථිකයට ද විශාල ශක්තියකි.චීනය දේශීය තත්ත්වයන්ට අනුකූල ප්‍රතිපත්ති අනුගමනය කරමින් බාහිර පීඩනයන්ට ඔරෝත්තු දෙන ආකාරයෙන් ක්‍රියා කිරීම මෙම ආර්ථික වර්ධන ඉලක්කය ඉටුකර ගැනීමට බලපෑ ප්‍රධාන සාධකය ලෙසට තමන් විශ්වාස කරන බවද හෙතෙම කියා සිටී.‍ චීන දේශීය ආර්ථික ව්‍යූහය තුළ විශේෂයෙන් සේවා අංශයේ ප්‍රබෝදයක් දැකගත හැකිවිය. අභ්‍යන්තර පරිභෝජනය උත්තේජනය වෙනුවෙන් චීනය ගත් පියවර සාර්ථක වී ඇත. පසුගිය වසර වෙනුවෙන් අත්කර ගත් මෙම ප්‍රගතිය නව වසරේදී වඩාත් ඉදිරියට ගමනු කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවද බණ්ඩාර දිසානායක මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම