චීන අග්‍රාමාත්‍යවරයා සහ ස්විට්සර්ලන්ත නායිකාව ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සාකච්ඡාවකට එක්වෙති
2024-01-16 10:08:16
Share with:

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා ස්විට්සර්ලන්ත නායිකා Viola Amherd මහත්මිය සමඟ සාකච්ඡා පවත්වයි. එම සාකච්ඡා බර්න් නගරයේ දී ඊයේ (15) පැවැත්විණ.

රාජ්‍ය නායක දෙපළ විසින් ඇති කර ගනු ලැබූ වැදගත් එකඟතා ක්‍රියාවට නැංවීම සහ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය සඳහා ශක්තිමත් පදනමක් තවදුරටත් තහවුරු කිරීම සඳහා ස්විට්සර්ලන්තය සමඟ එක්ව ක්‍රියා කිරීමට චීනය සූදානම් බව Li Qiang මහතා මෙහිදී පැවසීය. “සමානාත්මතාව, නවෝත්පාදන සහ පොදු ජයග්‍රහණ” මුල් කර ගත් චීන- ස්විට්සර්ලන්ත සහයෝගිතා දැක්ම ඔස්සේ ද්විපාර්ශ්වික සබඳතාවල අඛණ්ඩ වර්ධනය සහතික කරමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගිතා තුළින් වඩාත් ප්‍රායෝගික ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා දෙරට සහයෝගයෙන් කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද චීන අග්‍රාමාත්‍යවරයා පැවසීය.

චීනය සමඟ උසස් තත්ත්වයේ ද්විපාර්ශ්වික සංවාදයක් ප්‍රවර්ධනය කිරීමට ස්විට්සර්ලන්තය බලාපොරොත්තු වන බව Viola Amherd මහත්මිය මෙහිදී කියාසිටියාය. එසේම, දෙරට අතර ආර්ථික, වෙළඳ, අධ්‍යාපන, මූල්‍ය, විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රවල හුවමාරු සහ සහයෝගිතා පුළුල් කිරීම මෙන්ම මානව හා සංස්කෘතික හුවමාරු ප්‍රවර්ධනය තම අපේක්ෂාව බව ද ඇය පැවසුවාය. දේශගුණික විපර්යාස, මහජන සෞඛ්‍යය සහ අන්තර්ජාල ආරක්ෂාව වැනි ගෝලීය අභියෝගවලට ඒකාබද්ධව ආමන්ත්‍රණය කරමින් මකරාගේ වසරේ ස්විට්සර්ලන්ත-චීන නවෝත්පාදන උපායමාර්ගික හවුල්කාරිත්වය නැංවීමට පියවර ගන්නා බව ද Viola Amherd මහත්මිය කියාසිටියාය.

සාකච්ඡාවලින් අනතුරුව චීන අගමැතිවරයා සහ ස්විට්සර්ලන්ත නායිකාව හමුවේ දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සහයෝගිතා ලේඛනවලට අත්සන් තැබිණ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම