ගාසා තීරයේ හා රතු මුහුදු කලාපයේ වත්මන් තත්ත්වය පිළිබඳව චීනයේ ස්ථාවරය පැහැදිලි කෙරේ
2024-01-15 09:38:41
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශාපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති වං යී මහතා ඊජිප්තු විදේශ ඇමති Sameh Shoukry මහතා ඊයේ(14) සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ඒකාබද්ධව මාධ්‍ය හමුවකට එක් වූහ.

ගාසා තීරයේ අඛණ්ඩව උග්‍රවූ ගැටුමෙන් සිවිල් වැසියන්ගේ මරණ හා තුවාල විශාල වශයෙන් සිදු වූ අතර බරපතල මානුෂවාදී ව්‍යසනයකට තුඩු දී තිබෙන බව වං යී මහතා එහිදී කියා සිටියේය. සටන් තත්ත්වය හා ප්‍රචණ්ඩත්වය නතර කරමින් පලස්තීන ප්‍රශ්නයට සම්පූර්ණ, සාධාරණ හා තිරසර විසඳුමක් සොයාදීමට චීනය සැමවිටම අරාබි හා ඉස්ලාමීය රටවල් සමග එක්ව වෑයම් දරමින් සිටින බව ද ඔහු පැවසීය. සටන් විරාමයකට පිවිස ප්‍රචණ්ඩත්වය අත්හිටුවීම දැනට අත්‍යවශ්‍ය ප්‍රමුඛම කාර්යභාරය බවත් මානුෂීය සහනාධාරය සහතික කිරීම වහ වහා ඉටු කළ යුතු යුක්තිසහගත වගකීමක් බවත් චීනය අදහස් කරයි. ගාසා තීරයේ අනාගතය සැලසුම් කිරීමේදී පලස්තීන ජනතාවගේ කැමැත්තට පූර්ණ ගරුත්වය දැක්විය යුතු අතර ‘ද්වී රාජ්‍ය සැලැස්ම’ ක්‍රියාවට නැංවීම පලස්තීන ප්‍රශ්නය සාධාරණ ලෙස විසඳීමේ අනිවාර්ය මාර්ගය බව ද වං යී මහතා පෙන්වා දුන්නේය.

මේ අතර රතු මුහුදු කලාපයේ තත්ත්වය කෙරේ ඔහු අවධානය යොමු කළේය. එම කලාපය වැදගත් ජාත්‍යන්තර භාණ්ඩ හා බලශක්ති වෙළඳ මාර්ගයකි. ගෝලීය නිෂ්පාදන හා සැපයුම් දාමය මෙන්ම විධිමත් ජාත්‍යන්තර වෙළඳ පටිපාටිය සහතික කිරීම සඳහා, රතු මුහුදු කලාපයේ සිවිල් නෞකාවන්‍ට බාධා කිරීමේ හා ප්‍රහාර එල්ල කිරීමේ ක්‍රියා නතර කළ යුතුය. එහි පවතින නොසන්සුන්තාව, ගාසා තීරයේ ගැටුම ව්‍යාප්ත වීමේ ලකුණකි. ගාසා හි සටන සමනය කර එහි තත්ත්වය තවදුරටත් ව්‍යාප්ත වීම හෝ පාලනයෙන් තොරවීම වැළැක්වීමට පියවර ගත යුතු බව ද වං යී මහතා අවධාරණය කළේය.  

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම