දෙරටේ මූලෝපායික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක්
2024-01-11 12:06:37
Share with:

ලෝකයේ ප්‍රධාන රටවල් දෙකක් ලෙස චීනය සහ රුසියාව උපායමාර්ගික සන්නිවේදනය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් උපායමාර්ගික එකඟතා ඇති කර ගත යුතුය. එමෙන්ම එය මානව වර්ගයාගේ සහ ලෝකයේ අනාගතය වෙනුවෙන් ක්‍රියාත්මක උපායමාර්ගික සහයෝගීතාවයක් විය යුතු බව ද චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා පවසයි. 

රුසියානු විදේශ අමාත්‍ය Sergei Lavrov මහතා සමඟ ඊයේ(10) දුරකථන සාකච්ඡාවක් සිදු කරමින් Wang Yi මහතා මේ බව ප්‍රකාශ කර ඇත. එහිදී ඔවුහු 2024 නව වසර වෙනුවෙන් සුබ පැතුම් ද හුවමාරු කර ගත්හ.චීන-රුසියානු ජනාධිපතිවරුන්ගේ උපායමාර්ගික මගපෙන්වීම යටතේ පසුගිය වසරේදී, නව යුගයක් සඳහා දෙරටේ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය ඉතා ඵලදායී ලෙස ක්‍රියාත්මක වූ බව Wang Yi මහතා එහිදී පැවසීය. උසස් තත්ත්වයේ මූලෝපායික සම්බන්ධීකරණය ඔස්සේ දෙපාර්ශ්වයම සිය කටයුතු හොඳින් කළමනාකරණය කර ගනිමින්, ජාත්‍යන්තරයේ ප්‍රධාන භූමිකාවන් ඉටු කර ගෝලීය උපායමාර්ගික ස්ථාවරත්වය පවත්වා ගෙන යන බව ද හෙතෙම කියාසිටියේය. චීන-රුසියා රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය සහ චීන-රුසියා සංස්කෘතික වසරේ ආරම්භය මේ වසරේ සනිටුහන් කරන බව සඳහන් කළ Wang Yi මහතා රාජ්‍ය නායකයින්ගේ එකඟතාවයන්ට අනුව ඉදිරියටත් කටයුතු කළ යුතු බව ද පැවසීය. විදේශ කටයුතු පිළිබඳ මධ්‍යම සමුළුවේදී, ජනාධිපති ෂී ජින් පිං මහතා නව යුගයේ චීන ලක්ෂණ සහිත චීනයේ ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රිකභාවය පුළුල් ලෙස විග්‍රහ කළේය. මානව වර්ගයා සඳහා හවුල් අනාගතයක් සමඟින්, සමාන හා විධිමත් බහු ධ්‍රැවීය ලෝකයක් මෙන්ම, සියලු දෙනාටම ප්‍රතිලාභ හිමි වන ආර්ථික ගෝලීයකරණයක් වෙනුවෙන් චීනය පෙනී සිටින බව ද  Wang Yi මහතා එහිදී ප්‍රකාශ කර ඇත. 

2023 වසරේ දී රුසියානු-චීන සබඳතා ඵලදායි ප්‍රතිඵල ගෙන දුන් බව සඳහන් කළ Lavrov මහතා නව වසරේ දී ආර්ථික, වෙළඳාම සහ ආයෝජන වැනි ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බව ද පැවසීය. රුසියාව එකම චීනය මූලධර්මය දැඩි ලෙස පිළිගන්නා බව ද හෙතෙම ප්‍රකාශ කර ඇත. 

මෙහිදී බ්‍රික්ස් සහයෝගිතාව සහ පලස්තීන-ඊශ්‍රායල ගැටුම සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ. මෙම වසරේ BRICS සභාපතිත්වය හිමි රුසියාවට සාර්ථක සමුළුවක් පැවැත්වීමට චීනය පූර්ණ සහයෝගය ලබා දෙන බවත් එම සහයෝගීතාව නව තලයකට ඔසවා තැබීමට රුසියාව සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමට සූදානම් බවත් Wang Yi මහතා එහිදී සඳහන් කර ඇත.

 

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම