දෙපාර්ශ්වයටම ජය හිමිවන චීන ආර්ථික වැඩපිළිවෙල අධ්‍යයනය කිරීම කාලෝචිතයි
2024-01-10 16:30:11
Share with:

චීන සංවර්ධනයේ කොදු නාරටිය වන්නේ අපිරිමිත ජනතා මෙහෙවරයි. චීන කර්තෘ Chen Guo රචනා කර ඇති“ABOVE OF THE LADDERS TO HEAVEN ‘’ කෘතියෙන් මේ බව මනාව පැහැදිලි වන බව රජයේ ප්‍රවෘත්ති නිලධාරී ෂෙල්ටන් ඉන්දික බණ්ඩාර මහතා සඳහන් කළේය. චීන ජාතික යුවලක් අති දුෂ්කර ප්‍රදේශයක දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය ලබාදීමට වන කැපවීමත් , ‘’Erping’’ එම දුෂ්කර ප්‍රදේශය මෙම ගුරුවරුන් දෙදෙනාගේ කැපවීම මත දියුණු කරන ආකාරයත් එම කෘතිය තුලින් පැහැදිලි කරයි. එය සත්‍ය කතාවකි. චීන ජනතාව සිය රටේ සංවර්ධනය වෙනුවෙන් කැපකිරීම් කරන බලකායකි. චීන ආර්ථික කාර්ය සමුළුව 2024 සඳහා පවත්වා එහි අන්තර්ගතය දැන ගැනීමෙන් පසුව එකවරම මෙම කෘතියේ කතා වස්තුව මතකයට නැඟුණ බව ෂෙල්ටන් බණ්ඩාර මහතා පැවසීය.

වසරින් වසර ගෝලීය අවධානය යොමුවන ආර්ථික ක්‍රියාවළියක් පවත්වා ගැනීමේ දී චීනයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. 2024 සඳහා වන චීන ආර්ථික කාර්ය සමුළුව පැවැත්වීමත් සමඟ ඒ කෙරෙහි ද සුවිශේෂ අවධානයක් ගෝලීය වශයෙන් දකින්නට ලැබේ. ලොව දෙවන විශාලතම ආර්ථික ශක්තිය පවතින චීනය එම තත්ත්වයට පැමිණියේ ආර්ථිකය නැංවීමේ අභිලාසය ඇතිව රට අභ්‍යන්තරයේ සිදුවන උන්නතිකාමී ප්‍රවර්ධන ක්‍රියාවලිය හේතුවෙන් බව ෂෙල්ටන් බණ්ඩාර මහතා කියා සිටී. ශ්‍රම කළමණාකරණය අතින් ඉහළින් පසුවන චීනය කෘෂිකාර්මික, විද්‍යා හා තාක්ෂණ, නවීන කාර්මික ක්‍රම පද්ධතීන් ආදී ක්ෂේත්‍රවල නව අත්හදා බැලීම් නිරන්තරව සිදුකරන අතර ඒවා මල්ඵල ගන්වා ගැනීමට සමත් විය. ඵදාලදායී සාකච්ඡා ඔස්සේ ගනු ලබන තීන්දු තීරණ ගම් මට්ටම දක්වා විශ්වාසයෙන්, උනන්දුවෙන් ව්‍යාප්ත කිරීම හා ජනතාව ඒ වෙනුවෙන් යොමු කිරීම මෙම ප්‍රවර්ධනයන්ට බලපා ඇති ප්‍රධානතම හේතුවකි.

මෙවර ආර්ථික කාර්යය සමුළුවේ දී එරට ආර්ථිකය ස්ථාවර කරගන්නා අන්දම පිළිබඳව වැඩි වශයෙන් සාකච්ඡා කර ඇත. මෙහිදී චීන ජනාධිපතිවරයා විද්‍යාව හා තාක්ෂණ ක්ෂේත්‍රයන්හි වර්ධනය කෙරෙහි දැඩි අවධානයකින් කතා කර ඇති අතර තවමත් රට තුළ සැඟවී පවතින ගැටළු හඳුනාගෙන ඒවා නිරාකරණය කිරීමට අවශ්‍ය පියවර ගතයුතු බව ද ප්‍රකාශ කර ඇත.

2000-2011 අතර කාලයේ චීනයේ ආර්ථිකය අසාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කළේ ය. එය ලොව පුරා කතාබහට ලක්වූ මාතෘකාවක් විය. එතැන් සිට ආර්ථික වර්ධනයේ උනන්දුව චීනය තුළ වැඩි වූවා මිසක අඩු වීමක් සිදු නොවීය. කොවිඩ් ගැටළුව සමග යම් පසුබෑමක් ආර්ථිකය තුළ පෙන්නුම් කළත් එය දැන් ස්ථාවර මට්ටමකට පැමිණ තිබේ. ග්‍රාමීය ජනතාව දක්වන කැප කිරීමත්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පර්යේෂණ මෙන්ම විද්‍යා හා තාක්ෂණ දියුණුවත් ඉහළ යමින් පවතී. පරිභෝජන තත්ත්වයන් අඛණ්ඩව වර්ධනය වේ. මෙම ප්‍රවණතාවයන් මත වෙනත් රටවල බහු ජාතික සමාගම් හි ප්‍රධානීන් චීනයට පැමිණීම ද ඉහළ ගොස් ඇත්තේ චීන ආර්ථිකය පිළිබඳව ඔවුන් තුල පවතින විශ්වාසය හේතුවෙන් විය හැකි බව ෂෙල්ටන් බණ්ඩාර මහතා කියා සිටී.

විශේෂයෙන් ම චීනයේ පවතින විදේශ වෙළදාම් ප්‍රතිපත්තිය, මුල්‍ය වෙළඳපොල ශක්තිය, පාරිභෝගික භාණ්ඩ වෙළඳපොල ශක්තිය ආදිය නිසා ලෝක අවධානය එම ක්ෂේත්‍ර කෙරේ යොමුව පවතී. එම ක්ෂේත්‍ර චීනය තුල පසුබෑමට ලක්වුවහොත් එය සෘජුව මෙන්ම වක්‍රව ද ආසියාතික රටවලට විශේෂයෙන් ම බලපාන ගැටළුවකි. ඒ අන්තයෙන් ගත් කළ චීන ආර්ථික පිබිදීම ආසියාවේ අනෙකුත් බොහෝ රටවලට අස්වැසිල්ලක් බව ද හෙහෙතම සඳහන් කළේය.

කෙසේ හෝ චීන ජනතාවගේ යහපත් ජීවන තත්ත්වය පිලිබදව ස්ථාවර සහතිකයක් චීන රජය මගින් ලබා දී තිබේ. ඒ අතරවාරයේ ජාත්‍යන්තර වෙළඳපොල පරිසරය පුළුල් කිරීම තවදුරටත් අපෙක්ෂා කරයි. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල යටතේ සිදුකෙරෙන ව්‍යාපෘති තවත් ශක්තිමත් කරන වසරක් ලෙස 2024 පිළිබඳව චීන ආර්ථික කාර්ය සමුළුවේ දී සාකච්ඡා කර තිබේ. එය චීනයේ ජාත්‍යන්තර සබඳතා තව තවත් පුළුල් වීමට හේතුවක් බව ද ෂෙල්ටන් බණ්ඩාර මහතා පැවසීය.

දෙපාර්ශ්වයටම ජය හිමිවන අයුරින් මිත්‍රශීලී ප්‍රතිපත්තියක් ඔස්සේ ගෙන යන චීන ආර්ථික වැඩපිළිවෙල අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව විමසීමටත් පෙළඹීම බොහෝ රටවලින් පෙන්නුම් කෙරේ. එය ආර්ථික රටාවේ පවතින ධනාත්මක ප්‍රවේශය නිසාම සිදුවන්නක් බව පැහැදිලිය. ශ්‍රි ලංකාව වැනි රටක් ද චීන සහයෝගිතාව ඇතිව කටයුතු කරන සමයක චීන සංවර්ධන ක්‍රියාවලිය ද අධ්‍යනය කරන්නේ නම් රටේ සංවර්ධනයට එය මහත් රුකුලක‍් බව රජයේ ප්‍රවෘත්ති නිලධාරී ෂෙල්ටන් ඉන්දික බණ්ඩාර මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම