2024 චීනය සිය සංවර්ධනයේ නව ඇරඹුමක් සටහන් කරන වසරක්
2024-01-10 10:02:51
Share with:

2024 නව වසර උදා වන්නේ ලෝක දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික ප්‍රවාහය තුළ නව ප්‍රවණතා රාශියක් මතු වෙමින් පවතින පසුබිමක ය. මේ අතර නූතන ලෝකයේ සාම්ප්‍රදායික බටහිර ආර්ථික සහ දේශපාලන ආධිපත්‍යයට අභියෝග කරමින්, ගෝලීය දකුණට නායකත්වය සපයමින් චීනය අඛණ්ඩව සිය ආර්ථික සහ දේශපාලන බලය ඉහළ නංවා ගනිමින් සිටින බව ශ්‍රී ලංකා ජාතික තරුණ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය පැතුම් ඒ. රණසිංහ මහතා පවසයි.

චීනයේ මෙම ප්‍රගමනය පිළිබඳ අවදියෙන් සිටීම ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත් වන්නේ චීනය ආර්ථික හවුල්කරුවෙකු වශයෙන් සහ දේශපාලනික මිතුරෙකු වශයෙන් ශ්‍රී ලංකාව සමඟ පවත්වාගෙන යන නොබිඳුණු සම්බන්ධතාවය නිසා බව ද ඔහු සඳහන් කරයි. 

නව වසර සඳහා ලෝකය වෙත සුබ පැතුම් එක් කරමින් මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේ ගුණාත්මක සංවර්ධනයක් අත්පත් කර ගැනීම පිළිබඳ වන තමන්ගේ ඉලක්කය සාක්ෂාත් කර ගනිමින් ඉදිරියටම ගමන් කරන බවත්, නවීකරණය කරන ලද කර්මාන්ත පද්ධතිය තවදුරටත් වැඩිදියුණු කර ගනිමින්, ස්මාර්ට් සහ හරිත කර්මාන්ත ගණනාවක් සිය ආර්ථිකයේ නව කුළුණු ලෙස වේගයෙන් වර්ධනය කරවීමට අවශ්‍ය පසුබිම සකසමින් සිටින බවත් ය. 

චීනය විසින් තමන්ටම අනන්‍ය වූ සමාජවාදී ක්‍රමයක් ස්ථාපිත කර ගැනීමට සමත් වීම ඔවුන්ගේ සාර්ථකත්වයේ මූලාරම්භයයි. චීන විප්ලවයේ නියමු මාවෝ සේතුංගේ 130 වන ජන්ම දිනය සැමරීම වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පසුගිය දෙසැම්බර් 26 දින පැවැත්වූ සාකච්ඡාවක දී ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේ චීන අනන්‍යතා සහිත නවීකරණය ඔස්සේ ශක්තිමත් රටක් ගොඩනැගීම නව යුගයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ කේන්ද්‍රීය වගකීම වන බවයි. විශේෂයෙන්ම පසුගිය වසර 10 තුළ ෂී ජින්පිං මහතාගේ නායකත්වය යටතේ බොහෝ ක්ෂේත්‍රවල පරිපූර්ණ ප්‍රගතිශීලී පරිවර්තනයන් ඇති කර ගැනීමට චීනය සමත්ව ඇති බව ද තරුණ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා පවසයි. 

දස වසරක අඛණ්ඩ ආර්ථික වෘද්ධියේ ප්‍රතිඵලයක් ලෙස මිලියන 400 ක මධ්‍ය ආදායම් ලබන ජනගහණයක් චීනය තුළ නිර්මාණය වී ඇත. මෙය අති දැවැන්ත වෙළඳපොළකි. දස වසරක් තුළ චීන ජනතාවගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 74 සිට 78 දක්වා ඉහළ ගොස් ඇත. ඉන් චීනය සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ ක්ෂේත්‍රයේ ලබා ඇති ප්‍රගතිය පිළිබිඹු කෙරෙන බව ද හෙතෙම කියාසිටී.

ලොව විශාලතම කාර්මික නිෂ්පාදකයා වශයෙන් කටයුතු කරන චීනය දේශගුණික විපර්යාස පිළිබඳව වගවීමක් සහිතව කටයුතු කිරීම පැසසිය යුතු ය. ‘හරිත පරිවර්තනය යනු යම් කාලයක් ගත වන ක්‍රියවලියක් බවත්, එය එක් රැයකින් සිදු කළ නොහැකි බවත්’ පෙන්වා දෙන ජනපති ෂී ජින්පිං මහතා කාබන් විමෝචනය අවම කිරීම සඳහා නියමු ව්‍යාපෘති රාශියක් හඳුන්වා දී ඇත. මේ සියලු කරුණු සලකා බලන විට මෙම වසර චීනයේ සංවර්ධනයේ නව ඇරඹුමක් සටහන් කරන වසරක් බව ශ්‍රී ලංකා ජාතික තරුණ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය පැතුම් ඒ. රණසිංහ මහතා අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම