Boeing 737 MAX 9 වර්ගයේ ගුවන් යානා තාවකාලිකව අත්හිටුවයි
2024-01-08 12:19:45
Share with:

බෝයිං 737 මැක්ස් 9 වර්ගයේ සියලුම ගුවන් යානා තාවකාලිකව නතර කිරීමට ඇමරිකාවේ ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) තීරණය කර ඇත. මේ බව චිකාගෝ හි යුනයිටඩ් එයාර්ලයින්ස් (UA) සමාගම පසුගිය දා නිවේදනය නිකුත් කරමින් කියාසිටියේය. එම වර්ගයේ සියලුම ගුවන් යානා පරීක්ෂා කිරීම සහ නැවත පියාසර කිරීමට ඇති යෝග්‍යතාවය සහතික කිරීමට මෙම තීරණය ගත් බවත්, ඒ සඳහා ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයට අවශ්‍ය සහාය ලබා දෙන බවත් එම ගුවන් සමාගම ප්‍රකාශ කර ඇත. 

පසුගිය දා ඇලස්කා ගුවන් සමාගමට අයත් බෝයිං 737 මැක්ස් 9 වර්ගයේ ගුවන් යානයක් අඩි 16,000 ක උන්නතාංශයක දී එහි බඳ කොටස පුපුරා යාමෙන් පසු හදිසි ගොඩබෑමක් සිදු කළේය. කැලිෆෝනියාවේ ඔන්ටාරියෝ වෙත ගමන් කරමින් සිටි එම යානය ගුවන්ගත වී විනාඩි 20කට පමණ  පසු මෙම ‍හදිසි ගොඩබෑම සිදු කර ඇත.ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලය සහ ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය හානි වු ගුවන් යානය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇත. එමෙන්ම ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය පසුගිය 07 වන දා 737 MAX මාදිලියේ ගුවන් යානා 171ක්  සඳහා හදිසි ගොඩබෑමේ නියෝගය ලබා දී ඇත. මෙවැනි සිද්ධියක් වාර්තා වූ තුන්වන අවස්ථාව මෙය වන අතර මීට පෙර මාරාන්තික කඩා වැටීම් වාර්තා විය. 

යුනයිටඩ් එයාර්ලයින්ස් සතුව Boeing 737 MAX 9 වර්ගයේ ගුවන් යානා 79 ක් ඇති අතර ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය මේ වනවිට 33ක පරීක්ෂණ සිදු කර ඇති බව ද මාධ්‍ය වාර්තා පවසයි.

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම