රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමඟ සියලු ජනතාවට ආර්ථික සහන ලබාදෙන බව ජනපති කියයි
2024-01-05 15:49:11
Share with:

සියලු ජනතාවට ආර්ථික අපහසුතා තිබෙන බව තමා හොඳින් දන්නා බවත්, මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමඟ සියලු ජනතාවට ආර්ථික සහන ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

පසුගිය වසරේ සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා ගෙවීමට තිබූ සියලු බිල්පත් මේ වන විට ගෙවා අවසන් කර ඇත. එසේම, ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ද ජනාධිපතිවරයා කියාසිටී. එසේම මේ වසර අවසන් වන විට ආර්ථික වර්ධන වේගය 3% ක් දක්වා වැඩි කිරීමට ක්‍රියා කරන අතර 2025 වසරේ දී එය 5% ක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවද හෙතෙම අනාවරණය කළේය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (04) පැවති යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.

වසර 2025 වන විට අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම් සියල්ල අවසන් කරන ලෙස ද වික්‍රමසිංහ මහතා මෙහිදී උතුරු පළාත් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය. යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති, ඉදිරි සැලසුම් සහ එහිදී මතුව ඇති ගැටලු ද හෙතෙම පිළිබඳ පුළුල් ලෙස විමසා බැලීය. නැවත පදිංචි කිරීම්, අධ්‍යාපන ,සෞඛ්‍ය, ඉඩම් , ධීවර, කෘෂිකර්ම සහ වන සංරක්ෂණ යන ක්ෂේත්‍ර පිළිබඳව සහ උතුරේ සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද මෙහිදී ජනාධිපතිවරයා අවශ්‍ය උපදෙස් ලබාදුන්නේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම