ඇමරිකාව චීන සිසුන් එරට අධ්‍යාපනය සඳහා පිළිගන්නා බවට කළ ප්‍රකාශය ක්‍රියාවට නැංවිය යුතු බව චීනය කියයි
2024-01-04 16:39:12
Share with:

ඇමරිකාව චීන සිසුන් එරට අධ්‍යාපනය සඳහා පිළිගන්නා බවට  කළ ප්‍රකාශය ක්‍රියාවට නැංවිය යුතු බව චීනය ප්‍රකාශ කරයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව ප්‍රකාශ කළේ අද (4) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෑත කාලයේ චීන සිසුන් බොහෝ දෙනෙකු ඇමරිකාවේ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා එරටට පිවිසීමේ දී  ඇමරිකාවේ උවමනාවට වඩා අතිශය පුළුල් පරීක්ෂාවන්ට ලක් විය. ඇතැම් සිසුන්ගේ වීසා අවලංගු කෙරුණු අතර, වසර 5ක් ඇතුළත ඇමරිකාවට පිවිසීම ද තහනම් කරනු ලැබීය. ඒ පිළිබඳව චීනයේ අදහස කුමක් දැයි එම මාධ්‍යවේදියා විමසීය.

ශාස්ත්‍රීය නිදහස හා විවෘතබව පිළිබඳව ඇමරිකාව නිරන්තරයෙන් තම රට පිළිබඳ වර්ණනා කළ ද එරට ශාස්ත්‍රීය අධ්‍යයන කටයුතු පවා දේශපාලනීකරණය වී ඇති අතර, ඇතැම් විට එය අවියක් ලෙස යොදාගෙන තිබේ. එම ක්‍රියා චීන සිසුන්ගේ නීත්‍යනුකූල අයිතීන් දැඩි ලෙස උල්ලංඝනය කර ඇත. චීනය හා ඇමරිකාව අතර සංස්කෘතික හා මානව හුවමාරු වාතාවරණය ඉන් බිඳවැටී ඇති අතර ද්විපාර්ශ්වික හුවමාරු හා සහයෝගතා පුළුල් කිරීම පිළිබඳ දෙරට නායකයන්ගේ එකඟතාවන්ට ද පටහැනි වී තිබේ.

චීන සිසුන් තම රටට පිළිගන්නා බවට කළ ප්‍රකාශය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි. ඒ සඳහා 10043 අංක දරන සාවද්‍ය පරිපාලන නියෝගය අහෝසි කර, අධ්‍යාපනය සඳහා ඇමරිකාවට පැමිණෙන චීන සිසුන් ජාතික ආරක්ෂාව සුරැකීමේ මුවාවෙන් සීමා කිරීම හා පීඩාවට පත්කිරීම නතර කළ යුතු බව  වං වෙන්බින් මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම