අධික වර්ෂාවෙන් ජනතාවට පීඩා
2024-01-02 16:11:28
Share with:

අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්ත්වයෙන් දිස්ත්‍රික්ක හතක දෙදහසකට ආසන්න පිරිසක් අවතැන්ව සිටිති.

ජලාශ රැසක වාන් දොරටු විවෘත කිරීම,  නායයාම ඇතුළු හේතු මත ප්‍රධාන මාර්ග කිහිපයක් වසා තැබීමට පියවර ගෙන ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් සියල්ලම ජලයෙන් පිරීයාම නිසා වාන් දොරටු විවෘත කර තිබේ. කොළඹ - මඩකලපුව ප්‍රධාන මාර්ගය පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් බර වාහන ධාවනය යළි අත්හිටුවා ඇත.

 ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට අධික වර්ෂාවක් ලැබීමත් සමග මහවැලි ගංගාවේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් සෝමාවතිය පුදබිම තවදුරටත් ජලයෙන් යට ව පවතී. මඩකලපුව දිස්ත්‍රික්කයට ද අධික වර්ෂාවක් ලැබීම නිසා ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇත. ඊයේ පස්වරුවේ පැය 5 ක් පමණ තිස්සේ අඛණ්ඩ අධික වර්ෂාවක් එම දිස්ත්‍රික්කයට ඇදහැලිණ.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 13800 ක් පමණ විනාශ වීම හේතුවෙන් ගොවි ජනතාව 4000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිති.

කාලගුණයෙන් කුමන බාධා පැමිණියත් උසස් පෙළ සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සුදන්ත රණසිංහ මහතා පවසයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම