චීන-උතුරු කොරියානු නායකයෝ නව වසර නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩ හුවමාරු කර ගනිති
2024-01-01 15:19:03
Share with:

නව වසර සුබ පැතුම් පණිවුඩ හුවමාරු කරගන්නා චීන -උතුරු කොරියානු නායකයෝ “චීන-උතුරු කොරියානු මිත්‍ර වසර”ආරම්භ කරති. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ජනාධිපති ෂී ජින් පිං මහතා සහ උතුරු කොරියානු කම්කරු පක්ෂයේ මහලේකම්,රාජ්‍ය මණ්ඩල සභාපති කිම් ජොං උන් මහතා 2024 නව වසර නිමිත්තෙන් අද (1) සුබ පැතුම් පණිවුඩ හුවමාරු කර ඇත. නායක දෙපළ 2024 “චීන-උතුරු කොරියා මිත්‍ර වසර”ලෙසට ප්‍රකාශයට පත්කරන බවත්, ඊට අදාළ ක්‍රියාකාරකම් ආරම්භ කරන බවත් එහිදී පවසා තිබේ. 

චීන -උතුරු කොරියානු මිත්‍රත්වය පක්ෂ දෙක හා දෙරටේ මුල් පරම්පරාවේ නායකයන් විසින් ගොඩනගනු ලැබීය. මෑත වසර කිහිපය තුළ දෙපාර්ශ්වයේ ඒකාබද්ධ උත්සාහය යටතේ මෙම සාම්ප්‍රදායික මිත්‍ර සහයෝගීතා සබඳතාව නව ඓතිහාසික යුගයට පිවිස ඇති බව ෂී ජින් පිං මහතා පෙන්වා දෙයි.දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය මෙන්ම “චීන-උතුරු කොරියානු මිත්‍ර වසර” නිමිත්තෙන් උතුරු කොරියාව සමඟ එක්ව සාම්ප්‍රදායික මිත්‍රත්වය ප්‍රචාරය කිරීම, අන්‍යෝන්‍ය උපායමාර්ගික විශ්වාසය තහවුරු කිරීම මෙන්ම අදහස් හුවමාරු හා සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම ඔස්සේ යුගයට ගැලපෙන ලෙස දෙරටටම ඉහළ සංවර්ධනයක් දිනා ගැනීම සඳහා කටයුතු කිරීමට චීනය සූදානම් බව ද ෂී ජින් පිං මහතා පැවසීය. 

කිම් ජොං උන් මහතා සිය සුබ පැතුම් පණිවුඩයේ සඳහන් කළේ උතුරු කොරියාවේ හා චීනයේ ආණ්ඩු පක්ෂ හා රජයන්  “උතුරු කොරියානු - චීන මිත්‍ර වසර”වැඩසටහන සංවිධානය කිරීම තුළින් දේශපාලන, ආර්ථීක හා සංස්කෘතික යන ක්ෂේත්‍රවල හුවමාරු වැඩිදියුණු වී මිත්‍ර හැඟීම් හා සමගිය ද වර්ධනය වනු ඇති බවයි. එසේ ම දෙරට කලාපීය හා ලෝක සාමය, ස්ථාවරත්වය සහතික කිරීමේ ඒකාබද්ධ මෙහෙයුම්වලින් සම්බන්ධීකරණය ශක්තිමත් කළ හැකි යැයි තමා විශ්වාස කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම