2024 නව වසර වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරයි
2023-12-31 19:16:31
Share with:

2024 නව වසර උදාවීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කරයි. එම සුබ පැතුම් පණිවුඩය මෙසේ ය:

සහෝදරවරුනි, මිත්‍රවරුනි, නෝනාවරුනි, මහත්වරුනි,

ආයුබෝවන් ! කාලය සෘතුවෙන් සෘතුවට ‍ඉදිරියට ෙගවී යයි. 2023 වසරට සමු දෙමින් 2024 නව වසර පිළිගන්නා මෙම සුන්දර මොහොතේ මම බෙයිජිං නුවර සිට ඔබ සියලු දෙනාටම සුබ පතමි.

2023 වසරේ අප ගමන් මඟේ නොනවත්වා අනෙක විධ දුෂ්කරතා හා අභියෝග ජය ගැනීමෙන් මනරම් දසුන් අත්විඳි අතර සරු අස්වැන්නක් ද නෙලා ගත්තෙමු.‍ ගෙවී යන වසර පහසු වසරක් නොවුව ද අනාගතය පිළිබඳ අපට ඇත්තේ දැඩි විශ්වාසයකි.

මේ වසරේ අප ගමන් ගත්තේ ප්‍රබල ස්වශක්තියෙනි‍. කොවිඩ් වසංගත පාලනය ස්ථාවර වී‍මෙන් පසු චීන ආර්ථිකය නොකඩවාම ප්‍රකෘතිමත් වෙමින් ඉහළ ගුණයෙන් යුත් සංවර්ධන ක්‍රියාවලිය පියවරෙන් පියවර ඉදිරියට ‍පවත්වාගෙන ගොස් තිබේ. නවීන කාර්මික පද්ධතිය වඩාත් පූර්ණ වී ඉහළ මට්ටමේ, සුහුරු හා හරිත නව කර්මාන්ත රැසක් ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇත. රටේ ධාන්‍ය නිෂ්පාදනය වසර 20ක් පුරා සරු අස්වනු ලබාගත් අතර පරිසරය වඩාත් සුරක්ෂිත වී පවිත්‍ර ගංගා හා හරිත කඳු රට පුරා දැකිය හැකිය. ග්‍රාමීය පුනරුදය නව මුහුණුවරක් ගෙන තිබේ. ඊසානදිග චීනයේ පූර්ණ සංවර්ධන ක්‍රියාදාමය හා ශියොං අන් නව කලාපයේ නවමු සංවර්ධන ක්‍රියාවලිය මෙන්ම යැංසි ගංගා ආර්ථික තිරයේ හා ගුවංතුං-හොංකොං-මැකව් මහ බොක්ක කලාපයේ සංවර්ධනය ද ප්‍රශස්ත මට්ටමින් සිදු කෙරෙමින් පවතී. විවිධ අභියෝග හා දුෂ්කරතාවන්ට ‍ඔරොත්තු දෙමින් චීන ආර්ථිකය තව තවත් ශක්තිමත් වී ඇත.

මේ වසරේ අප ගමන් ගත්තේ ධෛර්වන්ත නිර්මාණශීලිත්වයෙනි. කාලයාගේ ඇවෑමෙන් අනෙකවිධ උරගා බැලීම්වලින් චීනයේ නවෝත්පාදන හා සංවර්ධන ජවය තව තවත් වඩවා තිබේ. චීනයේ නිෂ්පාදිත C919 සිවිල් ගුවන් යානය වාණිජමය ගුවන් ගමන අරම්භ කළ අතර චීනයේ පළමු දැවැන්ත සංචාරක නෞකාව ද මංගල යාත්‍රා ගමන  සිදු කර තිබේ. අභ්‍යවකාශ යානා අභ්‍යවකාශයේ ද අරගලයා නම් සැබ්මරීනය මුහුදු පත්ලේ ද සිය මෙහෙයුම් සාර්ථක ව ඉටු කර ඇත. පාරිභෝගික ජනතාවගේ ආකර්ෂණයට ලක්ව ඇති චීන දේශීය නිෂ්පාදිත අතරින් ජංගම දුරකථන, නව බලශක්ති මෝටර් රථ, ලිතියම් විදුලි කෝෂ, ප්‍රකාශ වෝල්ටීයතා නිෂ්පාදිත වඩාත් කැපී පෙනේ. අප්‍රතිහත උත්සාහයන් තුළින් චීන නවොත්පාදනයන් දිනෙන් දින ලොවට දායාද වෙමින් පවතී.

මේ වසරේ අපේ ගමන ජවසම්පන්න එකක් විය.චෙන් ඩු ලෝක සරසවි සිසුන්ගේ ක්‍රීඩා උළෙල සහ හැන් චෞ ආසියානු ක්‍රීඩා උළෙලේදී චීන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශිෂ්ට ජයග්‍රහණ අත්කර ගත්හ. නිවාඩු සමයන්හි සංචාරක උණුසුම, සිනමා ශාලාවල උද්‍යෝගිවත් ප්‍රේක්ෂකයන්, ගම්මාන සුපිරි තරු හා ගම්මාන රාත්‍රිය වැනි අන්තර්ජාල ක්‍රියාකාරකම්, ජනප්‍රිය වෙමින් පවතින අවකාබන් ජීවන රටාව, රට පුරා තැනින් තැන දක්නට ලැබුණු උණුසුම්කාරී හා කාර්යබහුල වාතාවරණයෙන් චීන ජනතාව සුන්දර ජීවිතය කෙරෙහි දක්වන උද්‍යෝගය මෙන් ම ජවසම්පන්න චීනයක් ද මැනවින් ප්‍රදර්ශනය කර තිබේ.

මේ වසරේ අප ගමන් ගත්තේ දැඩි ආත්ම විශ්වාසයෙනි. චීනය විශිෂ්ට ශිෂ්ටාචාරයකට හිමිකම් කියන ශ්‍රේෂ්ඨ රාජ්‍යයකි. මෙම මහ පොලොවට දුමින් ගහන කාන්තාරය හා පොද වැස්සෙන් අලංකාර වන යැංසි ගංගා ද්‍රෝණිය පමණක් නොව, වංගු ගැහෙන කහ ගංගාවේ හා යැංසි ගංගාවේ තේජාන්විත දසුන් ද අයත් වේ. Liangzhu හා Erlitou වැනි පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන, Shang රාජ වංශයේ Yin නටබුන්වල ඉබිකටු අක්ෂර, Sanxingdui නටබුන්, චීන ජාතික ලේඛනාගාරය වැනි චීනයේ පෞරාණික උරුමයන් කෙතරම් ඇත් ද ..! මෙය අපගේ ආත්ම විශ්වාසයේ හා ශක්තියේ උල්පතකි.

චීනය තම සංවර්ධනය  පමණක් නොව ලෝකය සක්‍රිය ලෙස වැළඳ ගන්නා විශාල රටක් ලෙස සිය වගකීම් හා යුතුකම් දරමින් සිටී. චීන-මධ්‍යම ආසියා සමුළුව සහ 3වැනි ‘එක් තීරය්ක එක් මාවතක්’ වැඩපිළිවෙළේ ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදය ඇතුළු චීනය සත්කාරත්වය දැරූ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාකාරකම් රැසකට විදේශ ආරාධිත අමුත්තෝ එක්වූහ. මම ද විදේශ සංචාරයන්හී නිරත වෙමින් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ රැසකට සහභාගි වූයෙමි. මම පැරණි මිතුරන්, නව හවුල්කරුවන් හමුවී චීන සංකල්ප ඔවුන් සමග බෙදා ගත්තෙමි. අන්‍යෝන්‍ය එකඟතා එමගින් තහවුරු විය. කාලය කෙතරම් වෙනස් වුව ද, සාමකාමී සංවර්ධනය මෙන් ම සහයෝගිතාවෙන් පොදු ජයග්‍රහණ හිමි කර ගැනීම වෙනස් නොවන තේමාවයි.

ඉදිරියට ගමන් කිරීමේදී අසීරුතාවන් හමුවීම අසාමාන්‍ය දෙයක් නොවේ. ඇතැම් ව්‍යවසායකයන්ට ව්‍යාපාරික පීඩා හමු වන අතරම, ඇතැම් ජනතාව රැකියා නියුක්ති හා ජීවිත අසීරුතාවන්ටද මුහුණ දෙති. ඇතැම් ප්‍රදේශ ගංවතුර, සුළිකුණාටු, භූමි කම්පා ඇතුළු ස්වාභාවික විපත්වලට මුහුණ දී ඇත. මම ඊට දැඩි සැලකිල්ල දක්වමි. දුෂ්කරතාවන් නොතකා අපට එකිනෙකාට උදව් කරමින් අභියෝග හා දුෂ්කරතාවන් ජය ගැනීමට හැකි විය. මේ පිළිබඳව මම හැඟුම් බර වූයෙමි. වෙහෙස මහන්සියෙන් කටයුතු කරන ගොවි ජනතාව හා කම්කරුවන්, උද්‍යෝගිවත් හා අධිෂ්ඨානශීලී ස්වයං ව්‍යාපාර ආරම්භකයන්, සිය මව්රට ආරක්ෂා කරන හමුදා භටයන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ජනතාව රට වෙනුවෙන් ඇපකැප වී සිටිති. සෑම සාමාන්‍ය පුද්ගලයෙක් ම මවුරටට අසාමාන්‍ය දායකත්වයක් ලබා දී තිබේ. සියලු දුෂ්කරතාවන් හා අභියෝගයන් ජය ගැනීමේ බලවත් ම බලවේගය ජනතාව බව එමගින් සනාථ වී තිබේ.

ලබන වසරේ නව චීනය ස්ථාපිත කිරීමේ 75වැනි සංවත්සරය සනිටුහන් කෙරේ. චීන මාදිලියේ නවීකරණය අප ස්ථිර ලෙස ඉදිරියට මෙහෙයවමින් නව සංවර්ධන සංකල්ප අංගසම්පූර්ණ හා නිරවද්‍ය ලෙස අනුගමනය කළ යුතුය. නව සංවර්ධන ව්‍යුහය ගොඩනැංවීම වේගවත් කරමින් අධි ගුණාත්මක සංවර්ධනය තහවුරු කර සංවර්ධන  සුරක්ෂිතභාවය මනාව සංයෝග කළ යුතුය. සංවර්ධනය ස්ථාවරව පවත්වාගෙන යාමෙන් ප්‍රගතිය අත්කර ගැනීමටත්, එම ප්‍රගතියෙන් සංවර්ධනය තවදුරටත් ඉදිරියට ගෙන යාමටත්, පැරණි ක්‍රමවේද අත්හැර නව ක්‍රමවේද අනුගමනය කිරීමටත් කටයුතු කළ යුතු ය. ආර්ථික ප්‍රකෘතිමත්වීම යහපත් අතට හැරීමේ ප්‍රවණතාව තහවුරු කරමින් තවදුරටත් ශක්තිමත් කර ආර්තිකය ස්ථාවර අයුරින් දිගුකාලීන වර්ධනය අත් කර ගත යුතුය. ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පූර්ණ වශයෙන් ක්‍රියාවට නංවමින් සංවර්ධනය පිළිබඳ ආත්ම විශ්වාසය තවදුරටත් ඉහළ නංවා ආර්ථික ක්‍රියාශීලීත්වය තහවුරු කළ යුතුය. වඩාත් ප්‍රබලතාවෙන් යුතුව අධ්‍යාපනය ඉදිරියට ගෙන යා යුතු අතර විද්‍ය හා තාක්ෂණ  අංශය වැඩිදියුණු කරමින් වෘත්තිකයන් පෝෂණය කළ යුතුය. හොංකොං හා මැකෞ විශේෂ පරිපාලන කලාප සිය ආවේණික විශේෂතා පවත්වා ගත යුතු ය. එම විශේෂ පරිපාලන කලාප දෙක චීනයේ සංවර්ධන ක්‍රියාදාමයට සහභාගි කරවමින් සිය දිගුකාලීන සමෘද්ධිය හා ස්ථාවරත්වය තහවුරු කළ යුතුය. මව්රට එක්සත්කරණය ඓතිහාසික අනිවාර්යයකි. තායිවාන සමුද්‍ර සන්ධි දෙපෙස චීන ස්වදේශිකයන් හදින් හද අතින් අත බැඳී ජාතියේ පුනර්ජීවනයේ විශිෂ්ට අභිමානය බෙදා ගත යුතුය.

අපගේ ඉලක්කයන් දැවැන්ත වුවද එය ඉතා සරලය. එනම් සාමාන්‍ය ජනතාවට වඩාත් සුවපහසු ජීවිතයක් අත කර දීම ය. දරුවන් ඇති දැඩි කිරීම හා ඔවුන්ගේ අධ්‍යාපනය, තරුණයන්ගේ රැකියා හා සංවර්ධන ගැටළු , වයස්ගත පුද්ගලයන්ගේ වෛද්‍ය හා නඩත්තු කටයුතු, පවුල්වල කටයුතු මෙන් ම ජාතික කටයුතු ද වෙයි.  මේ සියලු කටයුත මැනවින් ඉටු කිරීමට පොදු ප්‍රයත්න  දැරිය යුතුය. වර්තමාන සමාජයේ වේගවත් රිද්මය හමුවේ සියල්ලෝම කාර්ය බහුල ව සිටිති. රාජකාරියෙන් හා ජීවිතයෙන් ගෙන එන පීඩා ඉතා සුවිසල් ය. උණුසුම් හා සුසංගත සමාජ වාතාවරණයක් අප බිහි කළ යුතු අතර, සහභාගීත්වයෙන් යුතු උද්‍යෝගිවත් නිර්මාශණීලී අවකාශයක් පුළුල් කළ යුතුය. පහසුකම්වලින් පිරිපුන් ජීවිත පැවැත්මක් ද නිර්මාණය කළ යුතුය. මෙමගින් සතුටු හා සැහැල්ලු හැඟීමෙන් යුතුව, විශිෂ්ට ජීවිතයක් අත්විඳිමින් සිය සිහින සැබෑ කිරීමට ඉඩ සැලසිය යුතුය.

වර්තමාන ලෝකයේ ඇතැම් ප්‍රදේශවල ගැටුම්කාරී තත්ත්වයන් පවතී. සාමයේ වටිනාකම් පිළිබඳව චීන ජනතාවට මනා අවබෝධයක් ඇත. ජගත් ප්‍රජාව සමග එක්ව මානව වර්ගයාගේ අනාගතය ප්‍රධාන කරගෙන ජනතාවගේ සුබසෙත කේන්ද්‍ර කර ගනිමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීම තහවුරු කරමින් වඩාත් සුන්දර ලෝකයක් ගොඩනැංවීමට චීනය කැමැත්තෙන් සිටී.

මෙම මොහොතේ සුවහසක් නිවෙස්වලින් නිකුත් වෙන ආලෝකයෙන් රාත්‍රිය දීප්තිමත් වී තිබේ. අපි මව්රටට සමෘද්ධියත් ලෝකයට සාමයත් ප්‍රාර්ථනා කරමු! සියලු දෙනාට ම සියලු දිනයක්ම වාසනාවන්ත වේවා, අපේක්ෂා ඉටු වේවා, නිරෝගී වේවා යැයි ප්‍රාර්ථනා කරමි!


ස්තුතියි!

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම