2024 නව වසර වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ගෙන් සුබ පැතුම් පණිවිඩයක්
2023-12-31 20:51:21
Share with:

2024 නව වසර වෙනුවෙන්, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කළේ ය. 2023 වසරේ චීනය ලද අත්දැකීම් හා ලබා ගෙන ඇති සංවර්ධන ජයග්‍රහණ හෙතෙම ඉන් සමාලෝචනය කළේ ය. එමෙන් ම උදා වන්නාවූ 2024 වසරේ මව්රටට සමෘද්ධියත් ලෝකයට සාමයත් ෂී ජින් පිං මහතා ප්‍රාර්ථනා කළේ ය.

ගෙවී යන 2023 වස‍රේ රට පුරා තැනින් තැන දක්නට ලැබුණු උණුසුම්කාරී හා කාර්යබහුල වාතාවරණයෙන් චීන ජනතාව සුන්දර ජීවිතය කෙරෙහි දක්වන උද්‍යෝගය මෙන් ම ජවසම්පන්න චීනයක් ද මැනවින් ප්‍රදර්ශනය කර ඇතැයි හෙතෙම ප්‍රකාශ කළේය. චීන ආර්ථිකය නොකඩවාම ප්‍රකෘතිමත් වෙමින් ඉහළ ගුණයෙන් යුත් සංවර්ධන ක්‍රියාවලිය පියවරෙන් පියවර ඉදිරියට ‍පවත්වාගෙන ගොස් තිබේ. නවීන කාර්මික පද්ධතිය වඩාත් පූර්ණ වී ඉහළ මට්ටමේ, සුහුරු හා හරිත නව කර්මාන්ත රැසක් ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇත. රටේ ධාන්‍ය නිෂ්පාදනය වසර 20ක් පුරා සරු අස්වනු ලබාගත් අතර පරිසරය වඩාත් සුරක්ෂිත වී පවිත්‍ර ගංගා හා හරිත කඳු රට පුරා දැකිය හැකිය. ග්‍රාමීය පුනරුදය නව මුහුණුවරක් ගෙන තිබේ. චීනයේ නිෂ්පාදිත C919 සිවිල් ගුවන් යානය වාණිජමය ගුවන් ගමන අරම්භ කළ අතර චීනයේ පළමු දැවැන්ත සංචාරක නෞකාව ද මංගල යාත්‍රාකරණය  සිදු කර තිබේ. අභ්‍යවකාශ යානා අභ්‍යවකාශයේ ද අරගලයා නම් සැබ්මරීනය මුහුදු පත්ලේ ද සිය මෙහෙයුම් සාර්ථක ව ඉටු කර ඇත. අප්‍රතිහත උත්සාහයන් තුළින් චීන නවොත්පාදනයන් දිනෙන් දින ලොවට දායාද වෙමින් පවතින බවද චීන ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවිඩයෙන් ප්‍රකාශ කළේය.

‘ලෝකය සක්‍රිය ලෙස වැළඳ ගැනීමෙන්’ චීනය විශාල රටක් ලෙස සිය වගකීම් හා යුතුකම් දැරීම පිළිබිඹු කරයි.  චීන-මධ්‍යම ආසියා සමුළුව සහ 3වැනි ‘එක් තීරය්ක එක් මාවතක්’ වැඩපිළිවෙළේ ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදය සාර්ථක ව පවත්වා ඇත. චීනය සත්කාරත්වය දැරූ මෙවන් රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාකාරකම් රැසකට විදේශ ආරාධිත අමුත්තෝ විශාල පිරිසක් එක්වූහ.    

එමෙන් ම, ලබන වසරේ නව චීනය ස්ථාපිත කිරීමේ 75වැනි සංවත්සරය සනිටුහන් කෙරෙන බව පැවසූ ෂී ජින් පිං මහතා චීන මාදිලියේ නවීකරණය ස්ථිර ලෙස ඉදිරියට මෙහෙයවන බව සඳහන් ක‍ළේය. චීනයේ ඉලක්කයන් දැවැන්ත වුවද එය ඉතා සරලය. එනම් සාමාන්‍ය ජනතාවට වඩාත් සුවපහසු ජීවිතයක් අත කර දීම ය. මෙමගින් සතුටු හා සැහැල්ලු හැඟීමෙන් යුතුව, විශිෂ්ට ජීවිතයක් අත්විඳිමින් සිය සිහින සැබෑ කිරීමට ජනතාවට  ඉඩ සැලසිය යුතු බව හෙතෙම කියා සිටී.

කාලය කෙතරම් වෙනස් වුව ද, සාමකාමී සංවර්ධනය මෙන් ම සහයෝගිතාවෙන් පොදු ජයග්‍රහණ හිමි කර ගැනීම වෙනස් නොවන බව ෂී ජින් පිං මහතා පවසයි. වර්තමාන ලෝකයේ ඇතැම් ප්‍රදේශවල ගැටුම්කාරී තත්ත්වයන් පවතී. සාමයේ වටිනාකම් පිළිබඳව චීන ජනතාව ඇත්තේ මනා අව‍බෝධයකි. ජගත් ප්‍රජාව සමග එක්ව මානව වර්ගයාගේ අනාගතය ප්‍රධාන කර ගනිමින් ජනතාවට සුබසෙත උදාකරන පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීම තහවුරු කරමින් වඩාත් සුන්දර ලෝකයක් ගොඩනැංවීමට චීනය කැමැත්තෙන් සිටින බව ද චීන ජනාධිපතිවරයා සිය නව වසරේ සුබ පැතුම් පණිවුඩයෙන් ප්‍රකාශ කළේ ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම