චීන - ඇමරිකා සබඳතාවන් හි මනා පැවැත්ම ලොවට ජයග්‍රාහී ප්‍රතිඵල ගෙනෙනු ඇත
2023-12-29 09:20:40
Share with:

ලොව බලසම්පන්න රාජ්‍ය වෙන්ව, සහයෝගයෙන් තොරව ක්‍රියා කිරීම ගෝලීය වශයෙන් සුබදායක නොවේ. ඊට හේතුව, එවිට ඔවුන් සතු ශක්‍යතා සහ විභවතා වෙනස් දිශානතීන් ඔස්සේ ක්‍රියාත්මක වීමයි. අභියෝග සපිරි වත්මන් ලෝකයට අවශ්‍ය වන්නේ එවන් තත්ත්වයක් නොවන අතර, ලොව බලවත් රාජ්‍ය ගෝලීය අර්බුදවලට එක්ව විසඳුම් සොයන්නේ නම් එය අතිශය ඵලදායී වන බව අමුතුවෙන් කිවයුතු නැත. චීනය  සහ ඇමරිකාව යන ලොව බලවත් රාජ්‍ය ද්වය අතර පවතින සබඳතා පැහැදිලි මෙන්ම ස්ථාවර තලයක පැවතීම ලෝකයට හිතකර වන්නේ මේ නිසා බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ, ප්‍රවීණ මාධ්‍යවේදී ෂර්ලි අනිල් ද සිල්වා මහතා පෙන්වාදෙයි.

චීනය සෑමවිටම ගෝලීය අර්බුදවලදී ප්‍රායෝගික විසඳුම් සෙවීමේ පැත්ත නියෝජනය කරන රාජ්‍යයකි. ලෝක දේශගුණික විපර්යාස, රුසියානු-යුක්රේන ගැටුම සහ වත්මන් පලස්තීන-ඊශ්‍රායල ගැටුම වැනි සෑම අවස්ථාවකම චීනය ධනාත්මක මෙන්ම සාධනීය ස්ථාවරයක රැඳීසිටින බව පැහැදිලි ය. එසේම එම අර්බුදවල දී අදාළ පාර්ශ්ව සියල්ලටම වගකීම් සහගතව ක්‍රියාකරන ලෙස ද චීනය නිරන්තරයෙන් ඉල්ලා සිටින බව ද ෂර්ලි අනිල් ද සිල්වා මහතා කියාසිටී.   

වත්මන් චීන නායක, ජනාධිපති ෂී ජින් පිං මහතා ලොවට තිරසරභාවය උදා කරන සහයෝගිතා ප්‍රතිපත්ති ඉහළින් සලකන නායකයෙකි. ඔහු ‘එක් තීරයක් එක් මාවතක්’, ‘ගෝලීය සංවර්ධන මුලපිරුම’ වැනි වැඩසටහන් ලොවට හඳුන්වා දුන්නේ ද ඒ අරමුණ උදෙසා යි. තුන්වැනි ලෝකයේ රටවල යහපත වෙනුවෙන් බලවත් රටවල් සතු වගකීම හෙතෙම බොහෝ ජාත්‍යන්තර වේදිකාවන් හි දී අවධාරණය කරයි. පසුගිය දා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සමග සැන් ෆ්‍රැන්සිස්කෝහි පැවැත්වූ හමුවේ දී චීන ජනාධිපතිවරයා මේ වගකීම සහ ඒ හා බැඳුණු කාර්යභාරය ඉතා පුළුල් ලෙස සාකච්ඡා කළ බව ද හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා සිහිපත් කරයි.

පසුගිය වතාවේ බාලි දූපතේ පැවති චීන- ඇමරිකා රාජ්‍ය නායක හමුව මෙන් නොව මෙවර හමුව වඩාත් සාර්ථක මෙන්ම ජයග්‍රාහී ප්‍රතිඵල සහිත බව ජාත්‍යන්තර විචාරකයන් විසින් ද පෙන්වා දෙනු ලැබ තිබේ. එම ද්විපාර්ශ්වික සබඳතාවයේ මනා පැවැත්ම ලෝකයේ ආර්ථික සහ ආරක්ෂක ඇතුළු අංශ ගණනාවක පවතින අස්ථාවරභාවයට නිසි විසඳුම් රැගෙන එනු ඇත.

චීනයත්, ඇමරිකාවත් සහයෝගී ප්‍රතිපත්තියක රැඳී සිටිනු දැකීම ලෝක යහපත ප්‍රාර්ථනා කරන සියලුදෙනාගේ අපේක්ෂාව බව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ, ප්‍රවීණ මාධ්‍යවේදී ෂර්ලි අනිල් ද සිල්වා මහතා අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම