නව වසර චීන ආර්ථිකයේ නව පරිවර්තනයකට
2023-12-29 17:22:14
Share with:

විවිධ අභියෝග සමග ගෙවුණු 2023 වසර ලෝකයේ සියලු රටවලට තීරණාත්මක වසරක් විය. ආසියාවේ ආර්ථික වර්ධනයට පමණක් නොව ලෝක ආර්ථිකයට ද වැඩි දායකත්වයක් ලබා දෙන චීනය ගෙවුණු වසර තුළ සිය තිරසර සංවර්ධන ඉලක්ක වේගයෙන් සාක්ෂාත් කර ගැනීමට සමත් වූ බව ප්‍රවීණ මාධ්‍යවේදී සහ රූපවාහිනී නිවේදක දසුන් වසන්ත මහතා පවසයි.

ආර්ථික, සමාජයීය සහ දේශපාලන වශයෙන් සංධිස්ථානගත අවස්ථා රැසක් සාර්ථකව පසු කිරීමට චීනයට අවකාශය ලැබිණ. එහිලා විශේෂයෙන් කැපී පෙනෙන්නේ චීනය ජාත්‍යන්තර සබඳතා සහ නවීකරණ ආර්ථික රටාව තුළින් අත් කර ගත් දියුණුවයි. එම දියුණුව මත චීනයට සුබවාදී බලාපොරොත්තුවක් තැබිය හැකිය. “2050 දී ලෝකය”නම් PricewaterhouseCoopers වාර්තාව සඳහන් කරන ආකාරයට ලෝකයේ හොදම ආර්ථිකයන් 10 තුළ ආසියානු රටවල් වැඩි ආධිපත්‍යයක් හිමි කර ගනු ඇතැයි පුරෝකථනය කරන අතර චීනයේ දායකත්වය එහිදී විශේෂ වේ. ඒ අනුව වත්මන් ජනපති ෂී ජින් පිං මහතාගේ නව ආර්ථික වැඩපිළිවෙල යටතේ ලෝකයේ හොඳම ආර්ථිකය හිමි රටවල් අතර චීනය පෙරමුණ ගනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව ද හෙතෙම කියාසිටී.

ගෝලීය ආර්ථිකය මන්දගාමී තත්ත්වයක පැවතුන ද නිසි කළමණාකරණය තුළින් සිය ඉලක්ක වෙත ප්‍රවේශ වීමට චීනය සමත් විය. එමෙන්ම ලොව ප්‍රමුඛපෙළේ බහුජාතික සමාගම් රැසක්ම මේ වසරේ චීන වෙළදපොළට ප්‍රවේශ වී ඇත. මෙලෙස ඉහළ යන විදෙස් ආයෝජන සමග නව වසරේ චීන ආර්ථිකය නව පරිවර්තනයකට රැගෙන යනු නිසැකය. එමෙන්ම චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නව වැඩපිළිවෙළ චීනයේ සියලු සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට ශක්තියක් වනු ඇත. ඔහු ඉදිරිපත් කළ ශිෂ්ටාචාර සහ සංවර්ධන යන ගෝලීය ප්‍රවේශයන් ලෝකයේ හෙට දවස වෙනුවෙන් වඩා වැදගත් වන බව ද දසුන් වසන්ත මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව ද පාර්ශ්වකරුවෙකු වී සිටින “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ දසවන සංවත්සරය සම්පූර්ණ කර තිබේ. ගෙවුණු දශකය තුළ ඒ ඔස්සේ කලාපීය වශයෙන් ලබාගත් ජයග්‍රහණ රැසකි. ආර්ථික, ආරක්ෂක සහ කලාපීය සහයෝගීතාවයට ලැබුණු නව ප්‍රවේශයන් ද විශාලය. එහෙයින් මීළඟ දශකය එහි නව්‍යකරණයේ දශකය වනු ඇති බව ද දසුන් වසන්ත මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම