ධුරයෙන් ඉල්ලා අස් වන නෙදර්ලන්ත උපඅගමැතිනියට ගාසා තීරය පිළිබඳ තනතුරක් ලබාදීමට ජගත් සංවිධානය සූදානම්
2023-12-27 10:10:14
Share with:

තම ධුරවලින් ඉල්ලා අස් වන බව පැවසූ නෙදර්ලන්ත උපඅග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය Sigrid Kaag මහත්මිය ගාසා තීරයේ ජ්‍යෙෂ්ඨ මානුෂීය සහ ප්‍රතිසංස්කරණ සම්බන්ධීකාරක ලෙස පත්කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කරයි. AFP සහ The Times of Israel යන මාධ්‍ය මේ පිළිබඳ වාර්තා කර ඇත.

Sigrid Kaag මහත්මිය ඊයේ (26) සමාජ මාධ්‍ය ඔස්සේ මේ බව නිවේදනය කළාය. තමා සිය ඉල්ලා අස්වීම රජුට භාර දුන් බවත්, ලබන ජනවාරි 8 වැනිදා නෙදර්ලන්තයේ උපඅග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය යන ධුරවලින් නිල වශයෙන් ඉල්ලා අස්වන බවත් ඇය පවසා තිබේ. ඒ අනුව, ගාසා තීරයේ ජ්‍යෙෂ්ඨ මානුෂීය සහ ප්‍රතිසංස්කරණ සම්බන්ධීකාරක තනතුර ඇයට නිල වශයෙන් භාර දීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ඊයේ (26) ප්‍රකාශ කළේය.

මේ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය ඊයේ (26) සිය නිල වෙබ් අඩවියේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ඊශ්‍රායල හමුදාව සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගත යුතු බවයි. ඊශ්‍රායල හමුදාවේ අනතුරු ඇඟවීම් සහ ගාසා හි සිවිල් වැසියන් ඉවත් කිරීමේ නියෝග ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ වගකීම් ඉටු කිරීමක් නොවන බව ද මහකොමසාරිස් කාර්යාල ප්‍රකාශක Seif Magango මහතා එහිදී අවධාරණය කළේය. එම වගකීමෙන් ඔවුන්ට නිදහස් විය නොහැකි බව ද හෙතෙම පවසා ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම