චීන-සෞදි අරාබි-ඉරාන ත්‍රෛපාර්ශ්වික රැස්වීමේ දී චීන විදේශ ඇමතිවරයාගෙන් යෝජනා මාලාවක්
2023-12-16 15:39:53
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා,  සෞදි අරාබි නියෝජ්‍ය විදේශ අමාත්‍ය Waleed Elkhereiji සහ දේශපාලන කටයුතු පිළිබඳ ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය  Ali Bagheri Kani  යන මහත්වරුන් සමග හමුවක් පවත්වයි.

චීන-සෞදි අරාබි-ඉරාන ත්‍රෛපාර්ශ්වික ඒකාබද්ධ කමිටුවේ පළමු රැස්වීම වන එය බෙයිජිං අගනුවර දී ඊයේ (15) පැවැත්විණ.

සෞදි අරාබිය සහ ඉරානය අතර අසල්වැසි මිත්‍රත්වයට නව ජවයක් ලබාදීමටත්, මැදපෙරදිග සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් දායක වීමටත් චීනය මෙම ත්‍රෛපාර්ශ්වික හමුව අවස්ථාවක් කරගන්නා බව වං යී මහතා මෙහිදී පැවසීය.

සෞදි අරාබිය සහ ඉරානය අතර සබඳතා තර කිරීම සඳහා හෙතෙම යෝජනා තුනක් ඉදිරිපත් කළේය. මනා අවබෝධයකින් යුතුව, ප්‍රතිසන්ධානගත වීම සඳහා වන උපායමාර්ගික තේරීම නොසැලී පිළිපැදීම, ආර්ථිකය, වෙළඳාම, ආරක්ෂාව සහ මානව සම්පත් හුවමාරු වැනි විවිධ අංශවල ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම සහ දෙපාර්ශ්වයම බාහිර මැදිහත්වීම් ප්‍රතික්ෂේප කිරීම  එම ප්‍රධාන යෝජනා තුන යි.  මැදපෙරදිග ඉරණම කලාපීය රටවල ජනතාව අත පැවතිය යුතු බව ද වං යී මහතා පෙන්වා දුන්නේය.

සෑමවිටම අරාබි සහ මුස්ලිම් රටවල් වෙනුවෙන් පෙනීසිටින රාජ්‍යයක් ලෙස චීනය පලස්තීන ජනතාවගේ නීත්‍යනුකූල අයිතීන් ප්‍රතිෂ්ඨාපනයට සහාය දක්වන බව ද හෙතෙම පැවසීය.

මැදපෙරදිග සංවර්ධනය සඳහා චීනයේ දැවැන්ත කාර්යභාරය සාදරයෙන් පිළිගෙන ඊට සහාය දෙන බව පැවසූ ‍ සෞදි අරාබි සහ ඉරාන අමාත්‍යවරු දෙපළ රැස්වීමට සත්කාරකත්වය ලබා දීම සම්බන්ධයෙන් චීනයට ස්තුති කළහ. තම දෙරට බෙයිජිං ගිවිසුම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින බව ද ඔවුහු ප්‍රකාශ කළහ. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම