මෙරට ඩෙන්මාර්ක ආයෝජන පුළුල් කිරීමට පියවර
2023-12-15 15:39:24
Share with:

ශ්‍රී ලංකාව සහ ඩෙන්මාර්කය අතර ද්විපාර්ශ්වික සබඳතා සහ සංවර්ධන සහයෝගිතා තර කරගැනීමට පියවර ගැනේ. ඒ අනුව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඩෙන්මාර්ක තානාපති ෆ්‍රෙඩී ස්වේන් මහතා අතර හමුවක් ඊයේ (14) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණ.

රැකියා අවස්ථා 1,000කට අධික සංඛ්‍යාවක් ලබා දිය හැකි ප්‍රධාන ඩෙන්මාර්ක සමාගමක් වන කෝපන්හේගන් හි GPV සමාගම් සමූහයේ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවේ විවෘත කිරීමේ උළෙලට තමා එක් වූ බව තානාපතිවරයා මෙහි දී පැවසීය. ඩෙන්මාර්කයේ බොහෝ ආයෝජකයන් බලශක්ති අංශය, ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම, යාන්ත්‍රික බෝට්ටු නිෂ්පාදනය සහ වෙනත් ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට කැමැත්තෙන් සිටින බව ද ඔහු අග්‍රාමාත්‍යවරයා හමුවේ පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් පැකේජයේ ප්‍රගතිය ඇතුළුව රටේ වත්මන් ආර්ථික සංවර්ධනය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඩෙන්මාර්ක තානාපතිවරයා දැනුවත් කළේය. ආයෝජන දිරිමත් කරමින් ඩෙන්මාර්කය විසින් ශ්‍රී ලංකාව කෙරෙහි තබා ඇති විශ්වාසය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා එරටට ස්තුතිය පුද කළ අතර, ආර්ථිකය පුනර්ජීවනය සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයේ දී පැරිස් සමාජයේ සාමාජිකයෙකු ලෙස ලබා දුන් සහයෝගය ද සිහිපත් කළේය.

තානාපති ෆ්‍රෙඩී ස්වේන් මහතා නේවාසික ව සිටින්නේ නවදිල්ලි නුවර යි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම