චීන ජනපතිගේ වියට්නාම සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගේ විග්‍රහය
2023-12-14 23:01:52
Share with:

පසුගිය 12, 13 දෙදින  චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා වියට්නාමයේ සිදු කළ නිල සංචාරය, මෙම වසරේ දෙර‍ට සම්බන්ධතාව පිළිබඳ වැදගත්ම දේශපාලන ක්‍රියාකාරකම වන අතර, ඉන් පුළුල්  ජයග්‍රහණ හිමි ව ඇතැයි චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා පවසයි.

මෙවර සංචාරයේ දී ෂී ජින්පිං මහතා සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් Nguyễn Phú Trọng මහතා ගැඹුරින්  සාකච්ඡා පවත්වා, පක්ෂ දෙක හා රටවල් දෙක අතර සම්බන්ධතාවන්ට නව අන්තර්ගතයන් එකතු කර ඇතැයි ද ඔහු පෙන්වාදෙයි. ඒ අනුව, චීන වියට්නාම අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය පදනම් කරගනිමින් පොදු ඉරණමක් සහිත උපායමාර්ගික වැදගත්කම හිමි චීන-වියට්නාම ප්‍රජාව ගොඩනැගීමට එකඟ වී තිබේ. මින් දෙරට සම්බන්ධතාව නව තලයකට මෙන්ම නව අදියරකට පිවිස ඇති අතර, නව ඉලක්ක සහිත ඊට නව බලයක් ද එකතු වී ඇතැයි ද වං යී මහතා සඳහන් කර ඇත. 

එකම චීනය මූලධර්මයෙහි එල්බ සිටින බවත්, තායිවාන ප්‍රදේශය චීන භූමියෙන් වෙන් කළ නොහැකි කොටසක් යැයි පිළිගන්නා බව‍ත් Nguyễn Phú Trọng මහතා ඇතුළු වියට්නාම නායකයන්  ප්‍රකාශ කර තිබීම විශේෂයෙන් අගය කළ යුත්තකි. චීනයේ එක්සත්භාවයට සහාය දක්වන ඔවුන් හොංකොං, ෂින්ජියං, ටිබෙට් යනාදී ප්‍රශ්න චීනයේ අභ්‍යන්තර කටයුතු බවට ද පිළිගන්නා අතර, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන ඕනෑම  බලවේගයකට එරෙහි වන බව ද ප්‍රකාශ කර ඇත. 

ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ‘එක් තීරයක් එක් මාවතක්’ ඒකාබද්ධ සංවර්ධනය, ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම හා ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම සඳහා වියට්නාමය ස්ථිරව සහයෝගය දක්වන බව ද ඔවුන් විශේෂයෙන් ප්‍රකාශ කර තිබේ.

ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ සාර්ථක වියට්නාම සංචාරය ‘මිත්‍රශීලීත්වය, අවංකභාවය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ සහයෝගතාව’ පිළිබඳ චීනයේ  අසල්වැසි  ප්‍රතිපත්තිය විදහා පෑමක් බව ද වං යී මහතා පවසයි. එසේම එය ෂී ජින්පිං මහතාගේ රාජ්‍යතාන්ත්‍රික චින්තනයේ සාර්ථක භාවිතයක් ලෙසට ද විදේශ අමාත්‍යවරයා විග්‍රහ කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම