චීන ජනපති සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්වරයා අතර සාකච්ඡාවක්
2023-12-12 17:30:49
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් Nguyen Phu Trong මහතා සාකච්ඡාවක් පවත්වති. එය හැනොයි අගනුවර වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභා  පරිශ්‍රයේ දී අද (12) පස්වරුවේ  පැවැත්විණ.

     වියට්නාමයේ සමාජවාදී සංවර්ධන ව්‍යායාමයට චීනයේ ස්ථිර සහයෝගය හිමි වන බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. සෑමවිටම උපායමාර්ගික මට්ටමක හා දූරදර්ශී ආකල්පයක සිට වියට්නාමය සමග සම්බන්ධතාව සලකන චීනය එරට සිය අසල්වැසි රාජ්‍යතාන්ත්‍රිකත්වයේ ප්‍රමුඛ දිශානතිය ලෙස පිළිගනී. දෙරට සංවර්ධනය, දෙරට ජනතාව‍ගේ සුබසෙත මෙන්ම මානවයන්ගේ ප්‍රගතිය උදෙසා අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය පදනම් කර ගනිමින් පොදු ඉරණමක් සහිත චීන-වියට්නාම ප්‍රජාවක්  ගොඩනගන බව මහලේකම්වරයා සමග එක්ව ප්‍රකාශ කිරීමට තමා සූදානම් බව ෂී ජින්පිං මහතා සඳහන් කර ඇත.

දෙපාර්ශ්වයේ පොදු ප්‍රයත්න යටතේ ද්විපාර්ශ්වික සම්බන්ධතාව තහවුරු කළ යුතුය. එහිදී එය වඩාත් ශක්තිමත් අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය, වඩාත් ප්‍රා‍යෝගික ආරක්ෂක සහයෝගතාව, වඩාත් ඉහළ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගතා, වඩාත් පුළුල් ජනතා අභිලාෂ මෙන්ම බහුපාර්ශ්වීය ක්‍රමවේද ඔස්සේ වඩාත් සමීප සම්බන්ධීකරණයක් සහිත මෙන්ම මතභේද මනා ලෙස පාලනය කළ හැකි නව යුගයකට පිවිසෙනු ඇතැයි ෂී ජින්පිං මහතා සිය විශ්වාස පළ කළේය. එසේම දෙරටට කලාපීය හා ලෝක සාමය, සංවර්ධනය හා සමෘද්ධිය සහතික කිරීම සඳහා ඉහළින් කැපවිය හැකිවෙතැයි ද ඔහු අපේක්ෂා පළ කර ඇත.

ජනාධිපති ෂී ජින්පිං මහතා චීන ජනතාවගේ ආදරය දිනා ගත්, ලොව විශිෂ්ට නායකයෙකු වන බව වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් Nguyen Phu Trong මහතා එහිදී පැවසීය.

එකම චීනය මූලධර්මය ගරුකරන වියට්නාමය තායිවාන ප්‍රදේශය චීනයේ කොටසක් බව පිළිගන්නා අතර, චීනයේ එක්සත්භාවයට සහාය දක්වයි. එසේම, හොංකොං, ෂින්ජ්‍යං, ටිබෙට් යනාදී ප්‍රශ්න චීනයේ අභ්‍යන්තර කටයුතු වේ. ඊට මැදිහත් වන ඕනෑම බලවේගයකට තම රට විරෝධය පළ කරන බව ද ඔහු ප්‍රකාශ කළේය. මුහුදු කලාපය හා සම්බන්ධ ගැටළු, වියට්නාම- චීන සම්බන්ධතාවයේ කොටසක් පමණක් වන බව පැවසූ මහලේකම්වරයා අන්‍යෝන්‍ය විශ්වාසය හා ගරුත්වය මත අදාළ ප්‍රශ්න නිසි ලෙස පාලනය කිරීමට දෙරටට හැකි වන බව ද සඳහන් කළේය. 

ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ, ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම හා ‍ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම මානවයන්ගේ පොදු ප්‍රතිලාභ සහතික කිරීමේ අරමුණෙන් යුක්තය. වියට්නාමය ඒවාට සක්‍රිය හා ස්ථිර සහයෝගය දක්වන බව ද Nguyen Phu Trong මහතා  ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම