ගාසා තීරයේ හමුදා මෙහෙයුම් තවදුරටත් උත්සන්න වීම වහාම වළක්වන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඊශ්‍රායලයෙන් ඉල්ලයි
2023-12-05 10:43:42
Share with:

ගාසා තීරයේ හමුදා මෙහෙයුම් තවදුරටත් උත්සන්න වීම වහාම වළක්වන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඊශ්‍රායල හමුදාවෙන් ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ඊයේ(4) ගාසා තීරයේ වත්මන් තත්ත්වය පිළිබඳව සිය ප්‍රකාශකයා හරහා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ බැඳීම්වලට ගරු කරන ලෙස ඔහු එහිදී විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කළේය.

සෞඛ්‍ය සේවකයින්, මාධ්‍යවේදීන් සහ එක්සත් ජාතීන්ගේ කාර්යමණ්ඩලය ඇතුළු සාමාන්‍ය ජනතාව සහ සිවිල් යටිතල පහසුකම් සියලු අවස්ථාවලදී ආරක්ෂා කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

ගාසා තීරයේ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා බාධා රහිත හා තිරසර වූ මානුෂීය ආධාර ප්‍රවේශයක් සහතික කළ යුතු බව එම නිවේදනයෙන් ප්‍රකාශ කර ඇත.

 ගාසා තීරයේ තිරසර මානුෂීය සටන් විරාමයක් ස්ථාපිත කරන ලෙසත් ඉතිරිව සිටින සියලුම ප්‍රාණ ඇපකරුවන් වහාම හා කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසත් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා එහිදී නැවත වරක් ඉල්ලා සිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම