චීන ඇමරිකානු සබඳතා නිවැරදි මාවතට නැවත ගෙන ඒම දෙරටේ සහ සමස්ත ලෝකයේම ප්‍රයෝජනය සඳහා වැදගත්
2023-12-04 10:54:24
Share with:

සමස්ත ලෝකයේම අවධානය ‍යොමු වූ මෑත ඉතිහාසයේ සිදු වූ ප්‍රමුඛතම හමුව ලෙස චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ඇමරිකානු සංචාරය හැඳින්විය හැකිය. මේ නිසා චීන ඇමරිකානු රාජ්‍ය නායකයින්ගේ හමුව තුළින් මානව වර්ගයා වෙත ඉතාම සුබවාදී පණිවිඩයක් රැගෙන ඒමට හැකි වනු ඇති බවට විශ්වාස කරන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී මයුරි වානගුරු මෙනවිය කියා සිටී.

ආර්ථික වශයෙන් අංක එක හා දෙක වශයෙන් ඉතාම ඉහළ අදියරක සිටින මෙම රාජ්‍යන් ද්විත්වයට ගෝලීය දිශානතිය යහපත් ආකාරයට හැසිරවීමේ හැකියාව පවතී. සාමය පිළිබඳ ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් චීනය අනුගමනය කරයි. චීන-ඇමරිකානු සබඳතා එක් පාර්ශ්වයක් පරදවා තරඟ කරන හෝ අනෙකාගේ වියදමින් දියුණු වන ක්‍රීඩාවක් නොවිය යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වරක් ප්‍රකාශ කර තිබේ. එම නිසා චීනය සහ ඇමරිකානු ඉතිහාසය, ලෝකය සහ ජනතාව වෙනුවෙන් වගකීම පිළිබඳ හැඟීමක් ඇති කර ගැනීම කාලෝචිය. නව යුගයේ එකිනෙකා සමඟ සුහදව කටයුතු කිරීමට නිවැරදි මාර්ගය ගවේෂණය කිරීමේ මෙම ප්‍රයත්නය අගය කළ යුතු බව ද වානගුරු මෙනවිය පැවසීය.

හවුල් අනාගතයක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සඳහා චීනයේ කැපවීමට ඇමරිකාවේ සහාය හිමි වීම වර්තමානයේ අත්‍යවශ්‍ය කටයුත්තකි. ඇමරිකානු ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම චීන පන්නයේ ප්‍රජාතන්ත්‍රවාදය දෙපාර්ශ්වය විසින් පිළිගෙන පොදු සංවර්ධනය හා පොදු මානව යහපත වෙනුවෙන් ක්‍රියාකිරීම සඳහා ඇරඹි මෙම රටවල් දෙකෙහි සබඳතාවයේ සාර්ථකත්වය දෙස මුළු මහත් ලෝකයක් බලා සිටී. චීනය සහ ඇමරිකාව එකිනෙකට වෙනස් ඉතිහාසයන්, සංස්කෘතීන්, සමාජ ක්‍රම සහ සංවර්ධන මාර්ග ඇති ප්‍රධාන රටවල් දෙකකි. එකිනෙකාගේ සංවර්ධනයෙන් ප්‍රතිලාභ ලබා ගැනීම දෙපාර්ශ්වයටම වර්තමානයේ අත්‍යවශ්‍ය කටයුත්තකි. මෙවර දෙරටේ රාජ්‍ය නායකයින්ගේ හමුවේදී දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සහ දෙරටේ හමුදා සබඳතා ස්ථාපිත කිරීම ඇතුළු වැදගත් එකඟතාවන්ට එළැඹීමට හැකිවීම පිළිබඳ යහපත් බලාපොරොත්තු තබා ගත හැකිය. එම නිසා චීන-ඇමරිකානු සබඳතාව වර්ධනය වන ආකාරය ලෝකයේ අනාගතය සඳහා තීරණාත්මක වැදගත්කමක් ඇති බවත් එවැනි හමුවක් සඳහා යොමුවීම කාලීන ගෝලීය අවශ්‍යතාවක් බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී මයුරි වානගුරු මෙනවිය වැඩිදුරටත් පැවසුවාය.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම