ගෝලීය දේශගුණික ගැටලු සඳහා කඩිනම් විසඳුම් සෙවීමට COP28 සමුළු‍ව ඩුබායි හිදී ඇරඹේ
2023-12-01 10:43:10
Share with:

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය හෙවත් COP28 සමුළු‍ව ඊයේ(30) පස්වරුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී ඇරඹිණ. 

2015 වසරේ පැරිස් ගිවිසුමේ දී අරමුණු කර ගත් ලෝකයේ සාමූහික දායකත්වය පිළිබඳ ප්‍රගතිය සම්බන්ධ වසර දෙකක තක්සේරුව අවසන් වන හෙයින් මෙවර දේශගුණ සමුළුවට කැපී පෙනෙන ගෝලීය අවධානයක් හිමිව ඇත.‍COP28 සභාපතිවරයා ලෙස නිල වශයෙන් පත් වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශේෂ නියෝජිත සුල්තාන් අහමඩ් අල් ජාබර් පැවසුවේ මෙම නව ගමන ආරම්භ වන්නේ ගෝලීය දායකත්වය පිළිබඳ තීරණයකින් වන අතර එය නිසි දැක්මකින් සහ නිවැරදි මාවතක් සහ ක්‍රියාමාර්ග ඔස්සේ 2030 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.ගෝලීය දකුණේ සංවර්ධනය සහ දේශගුණික ක්‍රියාමාර්ග අතර තෝරා ගැනීම්  සිදු නොවන බව සහතික කිරීමට තමන් කැපවී සිටින බවත් පොදු පදනමක් සමග සම්මුතියක් ඇති කර ගන්නා ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය. 

මෙම සමාරම්භක උත්සවයේදී එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ විධායක ලේකම් සයිමන් ස්ටයිල් පැවසුවේ වර්තමාන අස්ථාවර ලෝකයේ සංකීර්ණ දේශගුණික බලපෑම් මධ්‍යයේ තවමත් සියලු පාර්ශ්ව සෙමින් පියවර තබන බවයි. මෙම ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා සාමුහිකව වගකීම් භාර ගනිමින් විනිවිදභාවයෙන් කටයුතු කළ යුතුය. එමෙන්ම ෆොසිල ඉන්ධනවලින් බැහැරව හරිත බලශක්තියට පරිවර්තනය වීමට අවධානය යොමු කරන ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය. 

ලොව පුරා නියෝජිතයින් 70,000 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් දෙසැම්බර් 12 වනදා දක්වා පැවැත්වෙන මෙම සමුළුව පෘථිවිය සහ සමස්ත මානව වර්ගයා මුහුණ දෙන හදිසි දේශගුණික ගැටලු සඳහා විසඳුම් සෙවීමේ ගෝලීය ප්‍රයත්නයකි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම