ඇමරිකා-චීන සම්බන්ධතා වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කර දිවි ගමනට සමුදෙන අපූර්ව රාජ්‍යතාන්ත්‍රිකයා
2023-12-01 11:46:49
Share with:

ඇමරිකානු හිටපු රාජ්‍ය ලේකම්වරයෙකු වූ Henry Kissinger මහතා පසුගිය 29වැනි දා අභාවප්‍රාප්ත විය. සියවසක් දිවිමඟ ගෙවූ Henry Kissinger මහතා දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාවේ සිටි ප්‍රබලම රාජ්‍යතාන්ත්‍රිකයා වශයෙන් සැලකේ. මැදපෙරදිග කලාපයේ යුද ගින්දර නිවාලීම හැරුණු කොට ඇමරිකානු-චීන රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් කිරීම ඔහු සිය රාජ්‍යතාන්ත්‍රික දිවියේ ඉටු කළ සුවිශේෂීම ‍මෙහෙවරක් බව පොදුවේ පිළිගැනේ.

1971 වසරේ Henry Kissinger මහතා  එවකට ඇමරිකානු ජනාධිපතිව සිටි Richard Nixon මහතාගේ විශේෂ දූතයෙකු  ලෙස රහසිගතව චීනයේ සංචාරය කළේ ය. එම සංචාරය චීන-ඇමරිකා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කිරීම වෙනුවෙන් ඓතිහාසික සංධිස්ථානයක් විය. 1972 වස‍රේ ඇමරිකානු ජනාධිපති Richard Nixon මහතා චීනයේ නිල සංචාරයක නිරත වීමෙන් දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව නිල වශයෙන් ස්ථාපිත කෙරිණ. එතැන් සිට ගෙවුණු අඩසියවසක කාලයේ දී Henry Kissinger මහතා චීනයට 100 වතාවක් පැමිණ ඇත. ඇමරිකානු-චීන සම්බන්ධතා වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කළ Henry Kissinger මහතා චීන ජනතාව විසින් අමතනු ලැබුවේ “ පැරණි මිතුරෙකු” ලෙසිනි.

වෘත්තීය රාජ්‍යතාන්ත්‍රිකයෙකු වශයෙන් Henry Kissinger මහතාගේ මුල්ම කාර්යය වූයේ ඇමරිකාවේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමයි. ‍එසේ වුව ද සැබෑ රාජ්‍යතාන්ත්‍රික ඥානයෙන් යුතුව ඔහු ඇමරිකාවේ යහපත වෙනුවෙන් සේවය කළ අතර ‍ලෝක සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් ද ධනාත්මක බලපෑම් සිදු කර තිබේ. රට, ජාතිය හා මතවාද වැනි සීමා මායිමෙන් බැහැරව වඩාත් පුළුල් දෘෂ්ටි කෝණයකින් සෙසු රටවල් කෙරෙහි ද අවධානය යොමු කිරීම ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික ඥානය වේ. ඇමරිකානු-චීන සම්බන්ධතා ‍ඉදිරියට ගෙන යාමේදී එය වඩාත් හොඳින් කැපී පෙනුණි. චීන ඉතිහාසය හා සංස්කෘතිය ගැඹුරින් අධ්‍යයනය කළ Henry Kissinger මහතාට චීනය පිළිබඳ තිබුණේ ඉහළ අවබෝධයකි. චීනය හා ඇමරිකාව අතර යම් යම් වෙනස්කම් පැවතිය ද නිවැරදි රාජ්‍යතාන්ත්‍රික දැක්මෙන් යුතුව දෙරටටම වාසිදායක අයුරින් සහයෝගිතාව පැවැත්විය හැකි බව ඔහු පෙන්වා දී ඇත.

වර්තමානයේ චීන-ඇමරිකානු සම්බන්ධතා වර්ධනය සඳහා Henry Kissinger මහතාගේ එම ඉහළ රාජ්‍යතාන්ත්‍රික ඥානය ඉවහල් වේ. නව යුගයේ චීනය හා ඇමරිකාව සතුරන් වෙනුවට මිතුරන් සේ සහයෝගයෙන් කටයුතු කළ හැකි නම් එය මෙම අපූර්ව රාජ්‍යතාන්ත්‍රිකයා අනුස්මරණය කිරීමේ හොඳම ක්‍රමය වනු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම