කලාපයේ සාමය හා ස්ථාවරත්වය තර්ජනයකට ලක් නොකර පවත්වාගෙන යාමට චීන-ඇමරිකා ජනපති හමුව උපකාරී වනු ඇත
2023-11-27 17:12:08
Share with:

ලෝකයේ රටවල් අතර ඇති ද්වීපාර්ශ්වික සම්බන්ධතා අතරින් වඩාත්ම වැදගත්ම වන්නා වූ හා ලෝකයට වැඩිම බලපෑමක් කළ හැකි ද්වීපාර්ශ්වික සබඳතාවක් ලෙස චීනය හා ඇමරිකාව අතර සබඳතාව පෙන්වා දිය හැකි බව විදේශ ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනී, නීතිඥ සුලෝ විජයසිංහ මෙනවිය පවසයි. 

වර්තමාන ලොකයේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ඇමරිකාව සහ ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන්නේ චීනය නමුදු ආර්ථික වර්ධනය පිළිබඳ මත පළ කරන විශේෂඥයින් ප්‍රකාශ කරන්නේ නුදුරේදීම ඇමරිකාවේ ආර්ථිකය අභිබවා චීන ආර්ථිකය ඉදිරියට පැමිණෙනු ඇති බවයි. ඇමරිකාවේ චින්තනය වන්නේ චීනය ඇමරිකාවේ දේශපාලන බලය හා ආර්ථික බලය ඉක්මවා යාමට උත්සාහ දරන්නෙකු වන අතර චීනය දකින්නේ තමා අතීතයේ පටන් විවිධ අභියෝගවලට මුහුණ දෙමින් පැමිණ වර්තමානයේ ලෝක බලවතෙකු ලෙස නැඟී සිටීමට උත්සාහ දැරීමේදී තමාට ලෝකයේ හිමි නිසි ස්ථානය ලබා ගැනීම වැළැක්වීමට ‍ඇමරිකාව උත්සාහ  දරන බවයි. මේ හේතුව නිසා මේ රටවල් දෙක අතර තරගකාරී හා එදිරිවාදී මතවාද සහිත ආකල්පයන් ඉස්මතු වී ඇත. 

ආර්ථික හා තාක්ෂණික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මෙම රටවල් දෙක අතර පවතින තරගකාරීත්වය හා එකිනෙකා අතර ඇති අවිශ්වාසය හේතුවෙන් මෙම එකිනෙකා කෙරෙහි පැවති සබඳතාව පළුඳු වීමට ලක්ව තිබිණ. හිටපු ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ කාලයේ ආරම්භ කළ වර්තමානය තෙක්ම රටවල් දෙක අතර පවත්නා වෙළඳ යුද්ධය, ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රිකයින් හට සම්බාධක පැනවීම, ඇමරිකාවේ කතානායක නැන්සි පොලෝසි විසින් තායිවානයට කරන ලද සංචාරය හේතුවෙන් ඇති වූ ප්‍රශ්නකාරී තත්ත්වය හා චීනය විසින් ඇමරිකාවට ඔත්තු බැලීමේ බැලූන එවා ඇතැයි චෝදනා කිරීම මගින්  ඇති වූ දේශපාලන උණුසුම මේ සඳහා යම් උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය. කෙසේ වුව ද මෙවර ඇමරිකාවේ පැවති ඇපෙක් සමුළුවට සමගාමීව බයිඩන් හා ෂී ජින් පිං ජනාධිපතිවරුන්ගේ හමුව මෙම රටවල් දෙක අතර පවත්නා දැඩි ලෙස පළුදු වී ඇති සබඳතාවය තාවකාලික හෝ ස්ථාවරයකට ගෙන එනු ඇතැයි සිතිය හැකි බව නීතිඥ සුලෝ විජයසිංහ මෙනවිය කියා සිටී. 

එමෙන්ම රටවල් දෙක විසින්ම ලෝක දේශගුණික විපර්යාසයන් සඳහා විසදුම් සෙවීමට හා දෙරටේ හමුදාවන් අතර සෘජු සම්බන්ධතාවන් නැවත ආරම්භ කිරීමට ගණු ලැබූ තීරණ මෙම හමුව මගින් ඇති වූ ඉතා සාධනීය ප්‍රතිඵලයන් ලෙස පෙන්වා දිය හැකිය.  විශේෂයෙන්ම ආසියා ශාන්තිකර කලාපය හා සම්බන්ධයෙන් ගත් කළ චීනය හා ඇමරිකාව යන රටවල් දෙකම තම යුධ බලය වර්ධනය කරගනිමින් සිටින අවස්ථාවක මෙවැනි සෘජු හමුදාවන් අතර සන්නිවේදනය ගොඩනැඟීමට ගත්තා වූ තීරණ මගින් කලාපයේ සාමය හා ස්ථාවරභාවය තර්ජනයකට ලක් නොකර පවත්වාගෙන යාමට උපකාරී විය හැකිය. 

කෙසේ වෙතත් අතිමහත් බහුතරයක් චීන ඇමරිකා ආර්ථික විශේෂඥයින්ගේ මතය වන්නේ බයිඩන්-ෂී හමුව මගින් දෙ‍රටේ සබඳතාවය හා ලෝකයේ ප්‍රගමනය කෙරෙහි දායක වීමට බලපාන යහපත් එකඟතාවන් කීපයක් ඇති වී ඇති බවයි. එමෙන්ම රටවල් දෙක අතර පවත්නා උපායමාර්ගික තරගය හා එදිරිවාදීකම් පසෙකලා අන්‍යෝන්‍ය ගෞරවය හා අනන්‍යතාවන් ඔස්සේ සාමකාමීව සබඳතා ගොඩනඟා ගැනීමෙන් ලෝක ආර්ථික වර්ධනයට හා ගෝලීය දිශානතියට මෙන්ම සමස්ථ මානව වර්ගයාට ඉතා යහපත් කාලයක් උදා වනු ඇති බව ට ද අපේක්ෂා කළ හැකි බව විදේශ ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනී, නීතිඥ සුලෝ විජයසිංහ මෙනවිය සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම