චීන - ඇමරිකා ජනපති හමුව මෑතකාලීන ගෝලීය දේශපාලනයේ ඉහළම අවධානයට ලක් වූ සන්ධිස්ථානගත අවස්ථාවක්
2023-11-24 11:13:18
Share with:

පසුගියදා ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවති චීන - ඇමරිකා ජනාධිපතිවරුන්ගේ හමුව මෑතකාලීන ගෝලීය දේශපාලනය ක්ෂේත්‍රයේ ඉහළම අවධානයට ලක් වූ සන්ධිස්ථානගත අවස්ථාවක් බව ප්‍රවීණ මාධ්‍යවේදී  රොෂාන් රුබේරු මහතා කියාසිටී. චීනය සහ ඇමරිකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාව ලොව වැදගත්ම රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව වීම ඊට හේතුව බව ද හෙතෙම පෙන්වාදෙයි.

චීනය හෝ ඇමරිකාවෙන් තොරව ගෝලීය දේශපාලනය පිළිබඳ කතා කළ නොහැකිය. මේ දෙරට මතවාදීමය හෝ දේශපාලනමය වශයෙන් එකිනෙකාට එරෙහි ආකල්පයක පසුවීම  වත්මන් ලෝක පැවැත්මට එතරම් හිතකර වන්නේ නැත. වර්තමානය පෙර කවර යුගයටත් වඩා සංකීර්ණ අභියෝග සපිරි සමයකි. මේ නිසා බලවත් රාජ්‍යයන් මිත්‍රශීලී ආකල්ප සහිතව ඒවාට පොදු විසඳුම් සෙවීම අතිශය කාලෝචිත මෙන්ම ප්‍රායෝගික ද වේ.   

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා හමුවේ අවධාරණය කළේ, දෙරට අතර තරගයකින් ගෝලීය ගැටලුවලට විසඳුම් සෙවිය නොහැකි බවයි. එසේම දෙරටේ සාර්ථකත්වය අනෙකාට අවස්ථා නිර්මාණය කර දෙන බව ද හෙතෙම පෙන්වා දුන්නේය. දෙරට සබඳතාවේ නියමුවන් ලෙස තමාට හා ජෝ බයිඩන් මහතාට ලෝකවාසී ජනතාව වෙනුවෙන් දැවැන්ත වගකීම් සම්භාරයක් පැවරී ඇතැයි ද ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. අන්‍යෝන්‍ය ගෞරවය හා සහජීවනය පදනම් කරගෙන ද්විපාර්ශ්වික සහයෝගිතා මනාව පැවැත්වීමටත්, පවතින මතභේද සමනය කරමින් විවිධ ක්ෂේත්‍රවල සංවාද තවදුරටත් ඉදිරියට රැගෙන යාමටත් එහිදී නායක දෙපළ එකඟ වූහ. දෙරට නායකයන්ගේ මෙවැනි සහයෝගී ප්‍රවේශයක් ලෝක පැවැත්මට ඉතා සුබවාදී වනු ඇතැයි රුබේරු මහතා කියාසිටී. මෑතක දී යළිත් ඉස්මතු වූ පලස්තීන-ඊශ්‍රායල අර්බුදය මැඩපැවැත්වීම සඳහා ද එය ඉවහල් වනු ඇත.

මේ ප්‍රබල ලෝක නායක දෙපළගේ හමුව ගෝලීය දේශපාලන, ආර්ථික, වෙළඳ සහ සංස්කෘතික යනාදී විවිධ අංශවල ප්‍රගමනයට සාධනීය බලපෑම් එල්ලකරනු ඇතැයි ද ප්‍රවීණ මාධ්‍යවේදී රොෂාන් රුබේරු මහතා විශ්වාසය පළකරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම