වත්මන් තත්ත්වය හමුවේ පලස්තීන-ඊශ්‍රායල ගැටුම පිළිබඳව බ්‍රික්ස් රටවල් සාධාරණත්වය හා සාමය වෙනුවෙන් හඬක් නැගීම, ඉතා කාලෝචිත මෙන්ම අත්‍යවශ්‍යයි -- චීන ජනපති
2023-11-21 23:19:44
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද (21) රාත්‍රීයේ බෙයිජිං නගරයේ සිට පලස්තීන-ඊශ්‍රායල ප්‍රශ්නය පිළිබඳ බ්‍රික්ස් රටවල නායකයින්ගේ විශේෂ වීඩියෝ සමුළුවට එක් වෙමින් වැදගත් දේශනයක් සිදු කළේය. 

‘සටන් විරාමයකට ප්‍රවේශ වෙමින් ස්ථීර සාමය හා සුරක්ෂිතභාවය සාක්ෂාත් කිරීම’ යන්න ෂී ජින් පිං මහතාගේ දේශනයේ මාතෘකාවයි.

වත්මන් තත්ත්වය හමුවේ පලස්තීන-ඊශ්‍රායල ගැටුම පිළිබඳව බ්‍රික්ස් රටවල් සාධාරණත්වය හා සාමය වෙනුවෙන්  හඬක් නැගීම, ඉතා කාලෝචිත මෙන්ම අත්‍යවශ්‍ය බව චීන ජනාධිපතිවරයා පැවසීය.

ගාසා තීරයේ ගැටුම මේ වනවිට මාසයකට වැඩි කාලයක් පවතී. සිවිල් වැසියන් විශාල පිරිසක් මිය ගොස් සහ තුවාල ලැබූ අතර මානුෂීය ව්‍යසනයන් ඇති වී තිබේ. එමෙන්ම එය බාහිර ප්‍රදේශවලට ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවක් ද පෙන්නුම් කෙරේ. චීනය ඒ පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව සිටින බව හෙතෙම සඳහන් කළේය. 

වර්තමානයේ ප්‍රමුඛතම කාර්යය වන්නේ ගැටුම් හා සම්බන්ධ සියළු පාර්ශ්වයන් එක්ව සටන් විරාමය වහාම ක්‍රියාත්මක කර සිවිල් වැසියන්ට එරෙහි සියලු ප්‍රචණ්ඩත්වයන් සහ ප්‍රහාර නැවැත්වීමයි. දෙවැන්න මානුෂීය සහන සැපයීමේ මාර්ගවල ආරක්ෂාව හා ප්‍රවේශය සහතික කරමින් ගාසා තීරයේ ජනතාවට එරෙහිව බලහත්කාරයෙන් නැවත ස්ථානගත කිරීම්, ජලය, විදුලිය සහ ඉන්ධන  ආදී අවශ්‍යතා අවහිර කිරීම් වැනි සාමූහික දඬුවම් නතර කිරීමයි. තෙවැන්න , ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රායෝගික පියවර යොදා ගනිමින් ගැටුම ව්‍යාප්ත වීම ඔස්සේ සමස්ත මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වයට බලපෑම් එල්ල වීම වැළැක්වීමයි. 

පසුගිය ඔක්තෝබර් මස 27 වන දා පලස්තීන-ඊශ්‍රායල් ගැටුම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ හදිසි විශේෂ රැස්වීමේ දී සම්මත කෙරුණු යෝජනාවට චීනය සහය ලබා දෙයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ වාරික සභාපති රට ලෙස චීනයේ ප්‍රධානත්වයෙන් මේ වනවිට  ආරක්ෂක මණ්ඩලයේ අංක 2712 දරණ තීරණය අනුමත වී තිබේ. ඒ ඒ පාර්ශ්වයන් එම යෝජනාව හා තීරණය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය යුතු බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කර ඇත.

පලස්තීන-ඊශ්‍රායල තත්ත්වය මේ අයුරින් උග්‍ර තත්ත්වයකට වර්ධනය වී ඇත්තේ, පලස්තීන ජනතාවගේ ස්වාධීන රටක් ගොඩනැගීමේ අයිතිය, ජීවන අයිතිය හා සිය රටට ආපසු පැමිණීමේ අයිතියට දිගු කාලයක් තිස්සේ අවම සැලකිල්ලක් දැක්වූ හෙයිනි. 

පලස්තීන-ඊශ්‍රායල ගැටුම යළි යළිත් හටගැනීම වැළැක්වීමට මූලික මාර්ගය වන්නේ, ‘ද්විත්ව රාජ්‍ය විසඳුම’ ක්‍රියාත්මක කරමින් පලස්තීන ජාතිකයින්ගේ නිත්‍යානුකූල අයිතීන් සහතික කරමින් ස්වාධීන පලස්තීනයක් ගොඩනැගීම යැයි තමා අවස්ථා රැසකදීම අවධාරණය කළ බව ෂී ජින්පිං මහතා ප්‍රකාශ කර ඇත.

පලස්තීන ගැටළුව සාධාරණ ලෙස විසඳා නොගතහොත්, මැදපෙරදිග ප්‍රදේශයේ තිරසර සාමය හා ස්ථාවරත්වය උදා නොවනු ඇත. එම ගැටළුවට හැකි ඉක්මනින් සම්පූර්ණ, සාධාරණ හා තිරසර විසඳුමක් සොයා දීම සඳහා කඩිනමින් උසස් අධිකාරත්වයක් සහිත ජාත්‍යන්තර සාම සමුළුවක් සංවිධාන කරමින් සාමය ප්‍රවර්ධනය උදෙසා ගෝලීය පොදු අදහස් එක්රැස් කිරීමට උත්සාහ කළ යුතු බව ෂී ජින්පිං ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

වත්මන් අර්බුදය ඇතිවීමෙන් පසු චීනය සාම සාකච්ඡාවක් පැවැත්වීමටත් යුද විරාමයකට පැමිණීම ප්‍රවර්ධනය කිරීමටත් සක්‍රිය ව කටයුතු කර ඇත. ගාසා තීරයේ මානුෂවාදී අර්බුදය සමනය කිරීම උදෙසා පලස්තීන ජාතික අධිකාරිය හා එක්සත් ජාතීන්ගේ ආයතන හරහා ඇ.ඩො. මිලියන ‍දෙකක හදිසි මුල්‍යාධාරය සපයා ඇති චීනය, ඊජිප්තුව හරහා එම ප්‍රදේශයට යුවාන් එක්කෝටි පනස් ලක්ෂයක ආහාර, ඖෂධ ඇතුළු හදිසි සහනාධාර භාණ්ඩ ද ලබා දී තිබේ. ගාසාහි ජනතාවගේ අවශ්‍යතාවට අනුව අඛණ්ඩව ආධාර ලබා දීමට චීනය සූදානමින් සිටියි.

බ්‍රික්ස් සහයෝගතා ක්‍රමවේදය, නැගී එන වෙළඳපොල රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් සමගිය තහවුරු කර ගනිමින් පොදු ප්‍රතිලාභ ආරක්ෂා කිරීමේ වැදගත් වේදිකාවක් බවට පත්වී තිබේ. මෙම වසරේ සභාපතිත්වය දරන දකුණු අප්‍රිකාව බ්‍රික්ස් ව්‍යායාමයේ වර්ධනය වෙනුවෙන් සිදු කළ වැදගත් කැපකිරීම් චීනයේ පැසසුමට ලක් වනු ඇත. සෙසු බ්‍රික්ස් සාමාජිකයින් සමග ලබන වසරේ සභාපතිත්වය දරන රුසියාවේ අදාළ වැඩකටයුතුවලට ද සහාය වෙමින් බ්‍රික්ස් සහයෝගිතාවේ නව යුගයක් ආරම්භ කිරීමට චීනය අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.  

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම