චීන ජනාධිපතිවරයා ගේ ඇමරිකා සංචාරය ඉතා සාර්ථක සංචාරයක් බව චීන විදේශ ඇමතිවරයා පවසයි
2023-11-18 22:11:12
Share with:

චීන විදේශ අමාත්‍ය වං යී මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ඇමරිකානු සංචාරය සමාලෝචනය කරයි. 

මෙමස 11වැනි දා සිට 17වැනි දා දක්වා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇමරිකාවේ සංචාරයක නිරත විය. එම කාලයේ චීන ජනාධිපතිවරයා San Francisco නගරයේදී ඇමරිකානු ජනාධිපතිවරයා හමු විය. ඇමරිකාවේ පැවති එපෙක් සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුවට ද හෙතෙම එක් විය.

 ෂී ජින් පිං ජනාධිපතිවරයා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා හමුවීම මෙවර සංචාරයේ වැදගත්ම අවස්ථාව වූ බව චීන ජනාධිපතිවරයාගේ ඇමරිකානු සංචාරය අවසානයේ වං යී මහතා වාර්තාකරුවන් අමතමින් පැවසීය. එම හමුවීම මගින් දෙරට අතර පැවති ගැටළු සහගත තත්ත්වය තුරන් වී චීන-ඇමරිකානු සම්බන්ධතා සඳහා නව බලාපොරොත්තුවෙන් යුත් දිශාවකට රැගෙන යාමට අවකාශ සැලසී ඇත. අන්‍යෝන්‍ය අවබෝධය හා ගෞරවය පදනම් කරගෙන මතභේද හා ගැටුම් නිසියාකාරයෙන් පාලනය කරමින් චීනය හා ඇමරිකාව ප්‍රතිවාදීන් වෙනුවට සහකරුවන් වශයෙන් සම්බන්ධතා පවත්වා ගෙන යාමට නායක දෙපළ එම හමුවේදී එකඟතාව පළ කළ බව වං යී මහතා ප්‍රකාශ කළේ ය. 

ෂී ජින් පිං ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් ඇමරිකාවේ මිත්‍ර සංගම් ඒකාබද්ධව විශේෂ උත්සවයක් සංවිධානය කළේ ය.ඇමරිකාවේ විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයෝ ඊට එක් වූහ. එහිදී චීන ජනාධිපතිවරයා දේශනයක් පවත්වමින් බොහෝ වර “ජනතාව”යන වචනය සඳහන් කළේ ය. චීන-ඇමරිකානු සම්බන්ධතාවයේ අඩිතාලම  දෙර‍ට ජනතාව මෙන් ම එම සම්බන්ධතාව ඉදිරියට ගෙන යන තීරණාත්මක සාධකය වන්නේත් ජනතාව බවට ෂී ජින් පිං මහතා පළ කළ අදහස්වලට එහි සිටි සියලු දෙනාගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබිණ. දෙරට සම්බන්ධතා තුළ කෙතරම් ගැටළු මතු වුව ද චීන-ඇමරිකානු මිත්‍රත්වය වර්ධනය වෙනුවෙන් දෙරට ජනතාව විශාල ශක්තියක් එක් කරන බව ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ මෙවර ඇමරිකානු සංචාරයෙන් දැඩි ලෙස දැනුණ බව වං යී විදේශ ඇමතිවරයා පවසයි. 

එපෙක් සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුවට එක්වූ අවස්ථාවේදී චීන ජනාධිපතිවරයා ඉදිරි වසර 30හේ ආසියා-පැසිෆික් සංවර්ධනය වෙනුවෙන් වටිනා අදහස් ඉදිරිපත් කළේ ය. සහයෝගිතාව ආසියා-පැසිෆික් කලාපයට ‍සමෘද්ධිය ගෙන දෙන බවත්, සහයෝගිතාව නොමැතිවුවහොත් ආසියා-පැසිෆික් කලාපයට විශාල අවදානමක් ගෙන දෙන බවත්, එම කලාපයේ සංවර්ධන ක්‍රියාදාමයෙන් මැනවින් ඔප්පු වී ඇතැයි චීන ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. එමෙන් ම , චීන ජනාධිපතිවරයා එපෙක් සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ  සමුළුවට ලිඛිත දේශනයක් ඉදිරිපත් කළ අවස්ථාව ඇතුළු විවිධ අවස්ථාවලදී චීන ලක්ෂණවලින් යුත් නවීකරණය පිළිබඳ පහදා දුන්නේ ය. ඇමරිකාවේ රැඳී සිටි කාලයේ ෂී ජින් පිං ජනාධිපතිවරයා මෙක්සිකානු ජනාධිපතිවරයා, පේරු ජනාධිපතිවරයා,ෆීජි අගමැතිවරයා, බෲනායි සුල්තාන් සහ ජපාන අගමැතිවරයා වෙන් වෙන් ව හමු විය. එම හමුවීම් චීනය අදාළ රටවල් සමග ඉදිරියේදී වඩාත් මනා අවබෝධයෙන් සම්බන්ධතා පවත්වාගෙන යාමට ඉවහල් වන බව වං යී විදේශ අමාත්‍යවරයා කියා සිටී.

ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ මෙවර ඇමරිකානු සංචාරය ඉතා සරු ප්‍රතිඵල ලබාගත් සාර්ථක සංචාරයකි. චීන ජනාධිපතිවරයාගේ ඥානය, දෘෂ්ටිය, දැක්ම සහ අධිෂ්ඨානය එම සංචාරය තුළින් මැනවින් ඉස්මතු වී ඇතැයි වං යී විදේශ අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

 

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම