වසර 2030 දී සෑම පාසලකම ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන ක්‍රියාවට නංවන බව ජනපති කියයි
2023-11-17 20:26:18
Share with:

වසර 2030 වන විට “සැමට ඉංග්‍රීසි” වැඩසටහන මෙරට සියලු පාසල්වල ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. භාෂා දැනුම සිංහල සහ දෙමළ භාෂාවන්ට පමණක් සීමා කළ නොහැකි බවත්, අනෙකුත් භාෂා දැනුම ද සිසු පරපුරට ලබාදිය යුතු බව හෙතෙම කියාසිටී.

විශ්වවිද්‍යාල සිසුන්ට ද ඉංග්‍රීසි දැනුම ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසන බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ කළේ ඊයේ (16) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ඩී.එස්. සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ, කීර්තිමත් අධ්‍යාපනඥ දිවංගත ආර්.අයි.ටී. අලස් මහතාගේ 10 වන ගුණසමරු උත්සවයට එක් වෙමිනි.

මෙරට අධ්‍යපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ උදෙසා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා සඳහන් කළේ ආර්. අයි. ටී අලස් මහතාගේ ද දැක්ම වු “සැමට අධ්‍යාපනය” ලබාදීමේ වගකීම ඉටුකිරීමට රජය කැපවී සිටින බවයි. මුදල් නොමැතිකමින් කිසිදු සිසුවෙකුට උසස් අධ්‍යාපන වරම් අහිමි නොවිය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. මෙරට සිසුන්ගේ උසස් අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නව විශ්වවිද්‍යාල කිහිපයක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බවත් ඊට දායක වන පෞද්ගලික අංශයේ සියලුදෙනාට අවශ්‍ය සහය නොඅඩුව ලබාදීමට රජය කටයුතු කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම