චීන-ඇමරිකා රාජ්‍ය නායක හමුව වර්තමාන ගෝලීය දේශපාලනයේ තීරණාත්මක හමුවයි - පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ
2023-11-16 16:37:03
Share with:

වර්තමාන ලෝකයේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ රටවල ජන ජීවිතයට ද විවිධ බලපෑම් එල්ල වෙමින් තිබේ. එමෙන්ම තවමත් ක්‍රියාත්මක පලස්තීන-ඊශ්‍රායල ගැටුම හේතුවෙන් ගෝලීය සාමය ස්ථාපිත කිරීම ද අභියෝගාත්මක වී ඇත. මෙවැනි වාතාවරණයක් හමුවේ ලොව බලවත්ම රාජ්‍යයන් වන චීන-ඇමරිකා ජනාධිපතිවරුන්ගේ හමුව වර්තමාන ගෝලීය දේශපාලනයේ තීරණාත්මක හමුවීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පවසයි. වසර හයකට පසුව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මෙම සංචාරයට එක්වීම ද විශේෂත්වයකි.

ෂී ජින්පිං මහතා සහ ජෝ බයිඩෙන් මහතාගේ මෙම හමුව පිළිබඳ මේ වනවිට ලෝකයේම අවධානය යොමු වී තිබේ. ලෝක සාමය සහතික කරමින්, පලස්තීනයේ සිදුවන සිවිල් ප්‍රහාර කඩිනමින් අවසන් කර සටන් විරාමයකට ප්‍රවේශ වීමට මෙය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද හෙතෙම කියාසිටී. එමෙන්ම නිදහස් සහ සාධාරණ ආර්ථික කටයුතු වෙනුවෙන් දෙපාර්ශ්වයේ එකඟතාවයට මෙය වඩාත් උපකාරී වනු ඇත. 

තායිවානය සම්බන්ධයෙන් ඇමරිකාවේ හැසිරීම පිළිබඳ ප්‍රකාශ කරමින් චීන ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත්තේ තායිවානය යනු චීනයේම කොටසක් වන බවයි. එයට කුමන හෝ බලපෑමක් එල්ල කිරීමට කිසිදු පාර්ශ්වයකට නොහැකි බව මෙහි දී ෂී ජින්පිං මහතා පවසා ඇත. මේ අයුරින් දෙපාර්ශ්වයේ මනා සන්නිවේදනය සඳහා ප්‍රධාන වේදිකාවක් වූ චීන-ඇමරිකා ජනාධිපතිවරුන්ගේ හමුව ආරක්ෂක සහ ආර්ථික සාමය ඇති කිරීමට ඉවහල් වනු ඇති බව හෙතෙම පෙන්වා දෙයි.  කාලීන වශයෙන් ඉතා සුවිශේෂ පියවරක් වන චීන-ඇමරිකා ජනාධිපතිවරුන්ගේ හමුව ලෝකයට සුබදායී අවස්ථාවක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම