ෂී ජින්පිං මහතා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සමඟ දෙරටේ රාජ්‍ය නායක හමුව පවත්වයි
2023-11-16 03:23:53
Share with:

ඇමරිකා වේලාවෙන් නොවැම්බර් 15 වැනිදා, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි ෆිලෝලි වතුයායේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සමඟ රාජ්‍ය නායක හමුව පැවැත්වීය.

ජෝ බයිඩන් ජනාධිපතිතුමා බාලි දූපතේදී හමුවී වසරක් ගත වූ බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය. ගෙවී ගිය වසර තුළ, බොහෝ දේ ඉස්මතුවිය. කොවිඩ් වසංගතයෙන් ලෝකය ප්‍රකෘති වී ඇතත් වසංගතයෙන් මතුවූ විශාල බලපෑම් තවමත් පවතී. ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පැවතියද එහි ගම්‍යතාවය ප්‍රමාණවත් නොවේ. කාර්මික හා සැපයුම් දාමයන්ට බාධා එල්ල වී ඇති අතර ආරක්ෂණවාදය ද ඉහළ යමින් පැවතීමද කැපී පෙනේ.

ලෝකයේ වැදගත්ම ද්විපාර්ශ්වික සබඳතාව වන චීන-ඇමරිකා සබඳතාව, ගෙවුණු සියවස තුළ පෙර නොවූ විරූ අයුරෙන් වේගයෙන් වෙනස්වන ලෝක ස්වභාවයන් සලකා සැලසුම් කළ යුතුය. එමෙන්ම, දෙරටේ ජනතාවට ප්‍රතිලාභ ගෙන දෙන අතරම මානව දියුණුව වෙනුවෙන් වගකීම දැරිය යුතු යැයි ද චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ගෙවී ගිය වසර 50කට වැඩි කාලය තුළ, වරින් වර ප්‍රශ්න රැසක් මතු වුව ද චීන ඇමරිකා සබඳතාව අඛණ්ඩව ඉදිරියට යමින් වර්ධනය වී ඇති බව ෂී ජින්පිං මහතා පැවසීය. මෙවැනි ප්‍රබල රටවල් දෙකක් අතර සබඳතා නොපැවතීම සිදු විය නොහැකි දෙයක් වන අතර එක රටක් අනෙක් රට වෙනස් කිරීමට උත්සාහ දැරීම යථාර්ථවාදී නොවේ. ගැටීමේ ප්‍රතිඵලය කිසිදු පාර්ශ්වයකට භාර ගත නොහැකි බව හෙතෙම අවධාරණය කළේය.

ෂී ජින්පිං මහතා සිය මතය යළි ප්‍රකාශ කරමින් පැවසුවේ ප්‍රබල රටවල් අතර තරඟ කිරීම නූතන යුගයේ හරය බවට පත් නොවන බවයි. තරඟය ඔස්සේ චීනය, ඇමරිකාව හා ලෝකය මුහුණ දෙන ප්‍රශ්න විසඳිය නොහැකි ය.  චීනය හා ඇමරිකාවේ පැවැත්මට පෘථිවියේ ප්‍රමාණවත් අවකාශයක් පවතී. දෙරටේ සාර්ථකත්වය එකිනෙකාට අවස්ථා ලෙස සැලකිය හැකි බව හෙතෙම කීය. ‌‌‌ඉතිහාසය හා සංස්කෘතිය, සමාජ ක්‍රම, සංවර්ධන ක්‍රියාමාර්ග යනාදියෙන් චීනය හා ඇමරිකාව අතර වෙනස්කම් තිබේ. එහෙත් අන්‍යෝන්‍ය වශයෙන් ගරු කිරීම, සාමකාමී සහපැවැත්ම, සහයෝගිතාවෙන් පොදු ජයග්‍රහණය ලබා ගැනීම දෙපාර්ශ්වය අනුගමනය කළහොත් මතභේද ඉක්මවා ප්‍රබල රටවල් දෙකක සබඳතාව මනාව පවත්වා ගැනීමේ නිවැරදි ක්‍රමය සොයා ගත හැකි ය. දෙරටේ සබඳතාවට දීප්තිමත් අනාගතයක් ඇති බව ද ෂී ජින්පිං මහතා විශ්වාසය පළ කළේය.

චීන ඇමරිකා සබඳතාවේ නියමුවන් ලෙස තමාට හා ජෝ බයිඩන් ජනාධිපතිතුමාට, ජනතාව, ලෝකය හා ඉතිහාසය වෙනුවෙන් දැවැන්ත වගකීම් සම්භාරයක් ඇති බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. ජෝ බයිඩන් මහතා සමග දෙරටේ සබඳතාව පිළිබඳ ක්‍රමෝපායීය, පූර්ණ දෘෂ්ඨිය මෙන්ම දිශානනික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් මෙන්ම ලෝක සාමය හා සංවර්ධනයට සම්බන්ධ වැදගත් ප්‍රශ්න පිළිබඳව ද අදහස් හුවමාරු කරමින් නව එකඟතාවන්ට එළඹීමට හැකි වෙතැයි ෂී ජින්පිං මහතා අපේක්ෂා පළ කළේය.

මෙවර සැන් ෆ්‍රැන්සිස්කෝ හමුවේදී චීන-ඇමරිකානු සම්බන්ධතා වඩාත් තහවුරු කිරීමට අදාළ කරුණු ද චීන ජනාධිපතිවරයා සඳහන් කළේ ය. ද්විපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳව දෙපාර්ශ්වයට නිවැරදි අවබෝධයක් තිබිය යුතු ය. එම සබඳතා පවත්වාගෙන යාමේදී චීනයට සිය අයිතීන් හා මූලධර්ම රැකගැනීමේ අවශ්‍යතා ද පවතී. දෙරට අතර පවතින ගැටුම් නිසියාකාරයෙන් පාලනය කළ යුතු ය. එම ගැටුම් නිරාකරණය වෙනුවෙන් චීනය හා ඇමරිකාව සාමකාමී අයුරින් හා සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමේ වැදගත්කම ෂී ජින් පිං ජනාධිපතිවරයා  පෙන්වා දෙයි. බොහෝ ක්ෂේත්‍රවල චීනයට හා ඇමරිකාවට පොදු යහපත පවතින බැවින් දෙරට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගිතාව වඩාත් ඉදිරියට ගෙන යා යුතු ය. එමෙන් ම මානව හුවමාරු වඩාත් පුළුල් කළ යුතු ය. චීනය හා ඇමරිකාව ලොව බලවත් රටවල් දෙකක් වශයෙන් ජාත්‍යන්තර වගකීම් මැනවින් ඉටු කිරීමේ අවශ්‍යතාව ද චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි. මානව සමාජයේ පවතින ගැටළු නිරාකරණයට බලවත් රටවල සහයෝගිතා ඉවහල් වන බවත්, ජාත්‍යන්තර හා කලාපීය ප්‍රශ්නවලදී චීනය හා ඇමරිකාවේ සම්බන්ධීකරණය හා සහයෝගිතාව වඩාත් ශක්තිමත් කළ යුතු බවත්, හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඇමරිකානු-චීන සම්බන්ධතාව ලොව වැදගත්ම ද්විපාර්ශ්වික සම්බන්ධතාවක් බවත්, ස්ථාවර ව සංවර්ධනය වන චීනයක් ඇමරිකාවට හා ලෝකයට යහපතක් රැගෙන එන බවත් ජෝ බයිඩන් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය. දෙරට අතර ගැටුම් මතුවීමට ඉඩකඩ තිබුණ ද එය වළක්වා ගත හැකි ය. බාලි දූපතේ හමුවේ දී තමා ලබාදුන් ප්‍රතිඥා අකුරටම පිළිපදින බව ‍ජෝ බයිඩන් ජනාධිපතිවරයා යළි ප්‍රකාශ කළේ ය. නව සීතල යුද්ධයක් ආරම්භ නොකිරීම, චීනයේ ක්‍රමය වෙනස් නොකිරීම, සන්ධානගත සම්බන්ධතා යොදාගනිමින් චීනය මර්දනය නොකිරීම, තායිවානයේ ස්වාධීනත්වයට සහය නොදීම සහ චීනය සමග හිතාමතා ගැටුම් ඇතිකර නොගැනීම එම පොරොන්දු අතර ප්‍රධාන වේ.

අන්‍යෝන්‍ය ගෞරවය හා සාමකාමී සහජීවනය පදනම් කරගෙන විධිමත් සම්බන්ධීකරණයක් පවත්වමින් පොදු යහපත පවතින ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා පැවැත්වීමටත්, පවතින මතභේද සමනය කරමින් තරගකාරී සාධක වගකීම් සහගතව පාලනය කිරීමටත්, විවිධ ක්ෂේත්‍රවල දෙරට අතර පවතින සහයෝගිතා හා සංවාද තවදුරටත් ඉදිරියට ගෙන යාමටත් එහිදී නායක දෙපළ එකඟ වූහ. දෙරට දේශගුණ විපර්යාස අර්බුදයට එක්ව මුහුණ දීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණ. ඒ සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව විවිධ සහයෝගිතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

මෙම හමුවෙන් පසු ඇමරිකානු ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයා වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීය. ඉන් අනතුරුව ජනාධිපතිවරු දෙපළ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර ෆිලෝලි (Filoli) වතුයායේ ඇවිදිමින් සුහද පිළිසඳරක ද නිරත වූහ.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම