ලෝකයම එකම වෙළඳ කලාපයක් බවට පත් කරන “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ
2023-11-10 18:15:46
Share with:

“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ චීන ජනාධිති ෂී ජින්පිං මහතාගේ සංකල්පයක් මත 2013 වර්ෂයේදී ආරම්භ විය. මෙය කලාපයේ පමණක් නොව සමස්ත ලෝකයේම වෙළඳාම සහ යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීම ඔස්සේ දැවැන්ත ආර්ථික ප්‍රසාරණයක් ඇති කිරීමට සමත්ව ඇත. චීනයේ මෙම සංවර්ධන වැඩපිළිවෙළට ගෝලීය සමස්ත දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 30 ක් පමණ නියෝජනය කරන රටවල් ඇතුළත් වේ. එමෙන්ම එය ලෝක ජනගහනයෙන් සියයට 60කි. එපමණක් නොව ලෝකයේ බලශක්ති සංචිතවලින් සියයට 70ක් ආවරණය කෙරෙන රටවල් මෙම වැඩපිළිවෙලට එක්ව ඇත. එහෙයින් ලෝකයේ සමස්ත ආර්ථික වර්ධනයට සාධනීය බලපෑමක් ඇති කිරීමට “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළට හැකියාව ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ කථිකාචාර්ය පසන් විජයවර්ධන මහතා පවසයි.

මෙම වැඩසටහන මගින් දැවැන්ත වෙළඳ නාවික පථයක් නිර්මාණය කෙරේ. එය ගෝලීය වෙළඳාමේ වේගවත් වර්ධනයට හේතු වනු ඇත. ‍එමෙන්ම මේ වනවිට මෙම වැඩපිළිවෙළ ඔස්සේ ඇරඹූණු ව්‍යාපෘති රැසක් ඉතා සාර්ථකව අවසන්ව ඇති අතර අදාළ රටවල විශාල සංවර්ධන පිබිදීමක් ඇති කිරීමට සමත් වී තිබේ. කෙන්යාවේ මොම්බාසා-නයිරෝබි දුම්රිය මාර්ගය විවෘත වීම ඵලදායී වෙළඳාමක් සිදු වීමට මෙන්ම නිෂ්පාදන ආර්ථිකයට ද ප්‍රබල ශක්තියක් එක් කර ඇත. එක් එක් රටවලට ප්‍රතිලාභ ලබා දීම මෙන්ම කලාප අතර සම්පත් හුවමාරු කර ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම ද මේ අතර කැපී පෙනේ. චීන-යුරෝපා දුම්රිය මාර්ගය ඉදි කිරීම එවැනි වටිනා අවස්ථාවක් බව හෙතෙම කියාසිටී.

එක් එක් කලාපවල‍ට ගැළපෙන ආර්ථික කොරිඩෝ රාශියක් නිර්මාණය කිරීම ඔස්සේ ලෝකයම එකම වෙළඳ කලාපයක් බවට පත් වීම මෙමගින් සිදු වනු ඇත. ආර්ථිකයේ සුම‍ට ප්‍රසාරණයකට මෙමගින් අවස්ථාව හිමිව ඇත. මේ සම්බන්ධව ඇතැම් පාර්ශ්ව විවිධ චෝදනා එල්ල කළ ද මෙය හුදෙක් චීනයේ කාර්යභාරයක් නොව වැඩපිළිවෙළ‍ට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ සාමුහික ප්‍රයත්නයකි. සමස්තයක් ලෙස ගත් විට මෙම වැඩපිළිවෙළ‍ ලෝකයට සෘජු සහ වක්‍ර ප්‍රතිලාභ හිමි කර දෙන ගෝලීය වශයෙන් ක්‍රියාත්මක පළමු මට්ටමේ වැඩසටහනක් බව කථිකාචාර්ය පසන් විජයවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම