ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය නොකරන ලෙස චීනයෙන් ඉල්ලීමක්
2023-11-07 10:50:58
Share with:

ජාත්‍යන්තර මානුෂීය නීතියේ සඳහන් කරුණු කිසිවිටක උල්ලංඝනය කළ නොහැකි බව චීනය පවසයි. පලස්තීන සරණාගතයින් පිළිබඳ සහනාධාර හා ව්‍යාපෘති ඒජන්සියේ කාර්යභාරය පිළිබඳ සාකච්ඡා කිරීමට ඊයේ (6) පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 4 වන කමිටුවේදී එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර උප නියෝජිත Geng Shuang මහතා මේ බව ප්‍රකාශ කළේය.

පලස්තීන-ඊශ්‍රායල ගැටුම ආරම්භ වී මේ වනවිට මාසයක පමණ කාලයක් ගතව ඇති බවත් පෙර නොවූ අයුරින් දරුණු මානුෂීය ව්‍යසනයක් හට ගෙන ඇති බවත් Geng Shuang මහතා ප්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගතයින් පිළිබඳ සහනාධාර හා ව්‍යාපෘති ඒජන්සිය ගාසා තීරයේ සිටින මිලියන 2.3ක සිවිල් ජනතාවගේ අවසාන රැකවරණයයි. ගාසා තීරයේ පවතින මෙම දරුණු මානුෂීය තත්ත්වය පිළිබඳව චීනය දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ද හෙතෙම එහිදී සඳහන් කර ඇත.

සම්පූර්ණ අවහිර කිරීම් හේතුවෙන් ගාසා තීරයේ ජනතාවගේ මූලික අවශ්‍යතා සඳහා වන සැපයුම් ද අත්හිටුවා ඇත. එහෙයින් එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගතයින් පිළිබඳ සහනාධාර හා ව්‍යාපෘති ඒජන්සිය සිය සහන කටයුතු අඛණ්ඩව සිදු කිරීමේ අසීරුතාවකට මුහුණ දෙමින් සිටී.

මෙම අවහිර කිරීම් ඉවත් කර, හදිසි ඉවත් කිරීමේ නියෝගය ද අවලංගු කරන ලෙස චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කළේය. එමෙන්ම ගාසා තීරයට අවශ්‍ය ජලය, විදුලිය, ආහාර සහ ඉන්ධන සැපයීම සඳහා පහසුකම් සලසන ලෙසත් එහි සිටින ජනතාවට සාමූහික දඬුවම් ලබා දීම නතර කරන ලෙසත් චීනය ඊශ්‍රායලයෙන් යළි ඉල්ලා සිටින බවද හෙතෙම පැවසීය. 

සිවිල් වැසියන්ට එරෙහි සියලු ප්‍රචණ්ඩත්වයන් සහ ප්‍රහාර චීනය හෙළා දකින බව Geng Shuang මහතා අවධාරණය කළේය. එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලය මානුෂීය සහ වෛද්‍ය සේවා සපයන්නන්ගේ ආරක්ෂාව සහතික කළ යුතුය. රෝහල්, පාසල් සහ සරණාගත කඳවුරු යන සිවිල් ස්ථාන යුද හමුදා මෙහෙයුම්වල ඉලක්ක නොවිය යුතුය. එය ජාත්‍යන්තර මානුෂීය නීතියේ නියමිත කරුණු උල්ලංඝනය කිරීමකි. එමෙන්ම ගෝලීය සදාචාරාත්මක බව සහ මානව හෘද සාක්ෂිය කිසිවකුට බිඳ දැමිය නොහැකි බවද එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර උප නියෝජිත Geng Shuang මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත. 


ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම