කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගය තවදුරටත් වසා දැමේ... අයහපත් කාලගුණය අඛණ්ඩ ව..
2023-11-06 19:41:01
Share with:

කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ, බෙරගල, බත්ගොඩ නායයෑම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ භු විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා පැවසුවේ, එම ස්ථානයේ නායයාමේ අවදානම තවදුරටත් පවතින බවයි.

පස් කඳු කඩාවැටීම නිසා කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගය තවදුරටත් බෙරගල ප්‍රදේශයෙන් වසා දමා ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි. බත්ගොඩ දී සිදුවූ නායයාමෙන් නිවාස 5 කට පමණ හානිවී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේරත්න මහතා පැවසීය.

මේ අතර, නිල්වලා ගං ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබේ. දැදුරු ඔය ජලාශයෙන් ද තත්පරයට ඝන අඩි 17,000 ක ජල ප්‍රමාණයක් නිකුත් කෙරෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. මේ නිසා ආසන්න ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට ද දැනුවත් කර ඇත.

දිවයිනේ පළාත් කිහිපයකම අයහපත් කාලගුණය තවදුරටත් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළංවලින් සහ අකුණුවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම