“එක් තීරයක් එක් මාවතක්” ජාත්‍යන්තර නායක සංසදයේදී චීන ජනාධිපතිවරයා කළ දේශනය සෑම ආකාරයකින්ම ඓතිහාසිකයි- පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා
2023-10-26 09:39:29
Share with:

“එක් තීරයක් එක් මාවතක්” තුන්වන ජාත්‍යන්තර නායක සංසදය අමතමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ නව සංවර්ධන පියවර අට නව යුගයේ ධනාත්මක බව සහ සංවර්ධනය පිළිබිඹු කරයි. එමෙන්ම ජනාධිපතිවරයාගේ දේශනය සෑම ආකාරයකින්ම ඓතිහාසික දේශනයක් බව හිටපු කැබිනට් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

මේ වනවිට රටවල් 150 කට අධික සංඛ්‍යාවක් සහ ජාත්‍යන්තර සංවිධාන 30 කට අධික සංඛ්‍යාවක් “එක් තීරයක් එක් මාවතක්” සහයෝගිතාව වෙනුවෙන් අත්සන් කර ඇත. එය භෞතික සම්බන්ධතාවයේ සිට ආයතනික සම්බන්ධතාවය දක්වා ද පුළුල් වී තිබේ. එක්ව සැලසුම් කිරීම, එක්ව ගොඩනැගීම සහ එක්ව ප්‍රතිලාභ හිමි කර ගැනීම යන මූලධර්මය මෙම වැඩපිළිවෙළ තුළ අන්තර්ගතය. එමෙන්ම උසස් ප්‍රමිතියෙන් යුත් ජනතා කේන්ද්‍රීය තිරසර සහයෝගිතා ඉලක්කය ද මෙම වැඩසටහනට ඇතුළත් වන බව හෙතෙම පෙන්වා දෙයි.

නව යුගයේ ජාත්‍යන්තර වෙළඳාමේ සංකේතයන් ප්‍රවර්ධනය කරන මෙය ඉදිරි දශකය තුළත් සාර්ථකව ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ. බහුවිධ ප්‍රවේශයන්ට පහසුකම් සලසන “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ  චීන-යුරෝපා අධිවේගී දුම්රිය වැනි නව සැපයුම් කොරිඩෝ නිර්මාණයට ප්‍රමුඛත්වය ලබා දී තිබේ. සමුද්‍රීය සේද මාවත ඔස්සේ වරාය, නාවික හා වෙළෙඳ සේවා දැඩි ලෙස ඒකාබද්ධ කිරීම, නව ජාත්‍යන්තර ගොඩබිම්- සමුද්‍රීය වෙළෙඳ කොරිඩෝව සහ ගුවන් සේද මාවත නිර්මාණය කිරීමත් ෂී ජින්පිං මහතාගේ අපේක්ෂාව බව රාජිත සේනාරත්න මහතා අවධාරණය කරයි. එමෙන්ම ප්‍රායෝගික සහයෝගිතාවය ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කිරීමේ ෂී ජින්පිං මහතා දැක්ම ද වඩාත් වැදගත් බව හෙතෙම සඳහන් කළේය.

“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ සඳහා ආයතනික සහයෝගිතාවය ගොඩනැගීම අනාගතය සඳහා චීනයේ අභිමානය වී ඇත. විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි බහුපාර්ශවික සහයෝගිතා වේදිකා ගොඩනගමින් චීනය සිය හවුල්කාර රටවල් සමග අඛණ්ඩව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද හිටපු කැබිනට් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම