ජයග්‍රාහී අනාගතයකට “එක් තීරයක් එක් මාවතක්” - සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු
2023-10-25 14:20:22
Share with:

“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ආරම්භ කර ගෙවී ගිය වසර 10 තුළ කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් උදාකර ගැනීමට ඊට සම්බන්ධ වූ සියලු රටවලට හැකි විය. 2013 වසරේ අගභාගයේදී ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් සේද මාවතේ ආර්ථික තීරය සහ 21 වැනි සියවසේ සමුද්‍රීය සේද මාවතේ ප්‍රධාන මුලපිරීම සිදු කළේය. ඒ අනුව දැනට ලෝකයේ ක්‍රියාත්මක වන දැවැන්තම, අන්තර් මහාද්වීපික සංවර්ධන වැඩසටහන වන්නේ ඓතිහාසික සේද මාවත සංවර්ධන වැඩසටහනේ නව ප්‍රවිෂ්ටය බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

මෙම වැඩපිළිවෙළ හුදෙක් චීනයේ යහපත පමණක් ඉලක්ක කරගත් වැඩපිළිවෙළක් නොවේ. සංවර්ධනය සඳහා වන මෙම චීන මුලපිරුම සියලු පාර්ශ්වකරුවන් අතර අන්‍යෝන්‍ය වාසි ලබා ගැනීම පිළිබඳ සංකල්පයක් බව පසුගිය දා පැවති ජාත්‍යන්තර නායක සංසදයේදී ෂී ජින්පිං මහතා ද පෙන්වා දී ඇත. එය බහුපාර්ශ්වික මිත්‍රත්වය, සහයෝගීතාවය සහ ප්‍රතිලාභ බෙදා හදා ගැනීම පිළිබඳ ආසියානු සංස්කෘතිය විදහා දක්වන්නක් බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

චීනය ලෝකයේ අති විශාලතම වෙළෙඳපොළක් සහිත බලගතු රාජ්‍යයක් වන අතර අපගේ පැරණිතම මිතුරු රාජ්‍යයක් ද වේ. තනි රටක් වශයෙන් ලෝකයේ වෙනත් රටවල සංචාරය කරන වැඩි පිරිසක් චීන ජාතිකයන්ය. එහෙයින් “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ගෝලීය සංචාරක ව්‍යාපාරය සඳහා විශාල දායකත්වයක් ලබා දෙනු ඇත.

පසුගිය දා ගෝලීය නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූ “එක් තීරයක් එක් මාවතක්” ජාත්‍යන්තර නායක සංසදය මෙම වැඩපිළිවෙළේ අනාගත සංවර්ධන සැලසුම් සඳහා මනා පිටිවහලක් වනු ඇත. එයට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ දී සිදු කළ ද්විපාර්ශවික හා බහුපාර්ශවික සාකච්ඡා ද මෙරට ඉදිරි අනාගත ප්‍රතිපත්තිමය තීරණ වෙනුවෙන් වැදගත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සියවස් ගණනාවක් ඉපැරණි ඓතිහාසික මිත්‍රත්වයේ දෑත් ශක්තිමත් කර ගනිමින් “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ඔස්සේ ශ්‍රී ලංකාවට ද වඩාත් ඵලදායි අනාගතයක් උරුම කරගැනීමට හැකිවනු ඇති බව ද අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම