ගාසා තීරයේ රෝහලකට එල්ල වූ දැවැන්ත ප්‍රහාරය ජාත්‍යන්තර සංවිධාන තරයේ හෙළාදකී
2023-10-18 10:47:22
Share with:

සිවිල් වැසියන් සිය ගණනකට මරු කැඳවමින් රෝහලකට එල්ල වූ දැවැන්ත ප්‍රහාරය ජාත්‍යන්තර සංවිධාන තරයේ හෙළාදකී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානි Volker Turk මහතා ඊයේ (17) රාත්‍රියේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, සිය ගණනක් ජනතාව ජීවිතක්ෂයට පත් කරමින් ගාසා නගරයේ  Al Ahli Arab රෝහලට එල්ල කෙරුණු දැවැන්ත ප්‍රහාරය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.

 පලස්තීන මූලාශ්‍රවලට අනුව, මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පලස්තීනුවන් 500 දෙනෙකු පමණ මියගොස් තිබේ.

 මේ අතර,  ඊයේ (17)  පස්වරුවේ ගාසා තීරයේ මැද ප්‍රදේශයේ සරණාගත කඳවුරක පිහිටි එක්සත් ජාතීන්ගේ පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් හය දෙනෙකු පමණ මිය ගිය බව ද මාධ්‍ය වාර්තාවල දැක්වේ.  ආරක්ෂාව පතා පැමිණි සරණාගතයන් 4,000 ක පමණ පිරිසකට මෙම පාසලේ නවාතැන් සපයා තිබිණ. 

 ලෝක සෞඛ්‍ය සංවිධානය ද Al Ahli Arab රෝහලට එල්ල වූ ප්‍රහාරය තරයේ හෙළාදකිමින් ප්‍රකාශයක් නිකුත් කර ඇත. ප්‍රහාරයෙන් ජීවිත හානි රැසක් සිදුව ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ. සිවිල් වැසියන්ගේ සහ සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්ෂණික මෙන්ම සක්‍රිය පියවර ගන්නා ලෙස ද එම සංවිධානය තරයේ ඉල්ලා සිටී. 

මේ අතර, ජාත්‍යන්තර රතු කුරුස කමිටුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ප්‍රහාරවලින් Al Ahli Arab රෝහල විනාශ කර, සිය ගණනක් මරාදැමුණු බවට පළ වූ වාර්තාවලින් අතිශය කම්පනයට සහ භීතියට පත් වූ බවයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම