ගාසා තීරයට එල්ල කෙරෙන ඊශ්‍රායල ප්‍රහාර නතර කරන ලෙස ඉරාන, රුසියානු, තුර්කි ජනාධිපතිවරු ඉල්ලා සිටිති
2023-10-17 10:46:48
Share with:

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීම සඳහා කඩිනම් ප්‍රයත්න දැරීමේ අවශ්‍යතාව ඉරාන ජනාධිපති Ebrahim Raisi මහතා අවධාරණය කරයි. රුසියානු සහ තුර්කි ජනාධිපතිවරුන් සමග පැවැත්වූ දුරකථන සංවාදවල දී ඔහු මේ බව පවසා ඇතැයි ඉරාන ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හා පැවති සංවාදයේ දී,  බටහිර රාජ්‍යයන්, විශේෂයෙන් ඇමරිකාවේ සහාය හිමි ඊශ්‍රායලය ගාසා තීරයේ මිලිටරි මෙහෙයුම් තීව්‍ර කරමින් දිගටම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඉරාන ජනාධිපතිවරයා අදාළ පාර්ශ්වයන්ට දෝෂාරෝපණ එල්ල කළේය.

 මෙහිදී රුසියානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, මිලියන 2කට වැඩි අනාරක්ෂිත ජනතාවක් වෙසෙන ජනාකීර්ණ කලාපයකට එරෙහිව මහා පරිමාණයෙන් එල්ල කෙරෙන ඊශ්‍රායල ප්‍රහාර කිසිදු ආකාරයකින් යුක්ති සහගත නොවන අතර, එම ප්‍රහාර වහාම නතර කළ යුතු බව යි.

 තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan සමග පැවැත්වූ දුරකථන සංවාදයේ දී, ගැටුම් තවදුරටත් උත්සන්න වීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් රයිසි මහතා අනතුරු ඇඟවීය. ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ ප්‍රචණ්ඩකාරී ප්‍රහාර අවසන් කරන ලෙසත්, වැටලීම් ඉවත් කරන ලෙසත් ඔවුන්ට බලකරන්නැයි මුස්ලිම් ලෝකයෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම පැවසීය.

මෙහිදී තුර්කි ජනාධිපතිවරයා කියාසිටියේ, ඇමරිකානු ගුවන් යානා සිරියාවේ Aleppo සහ Damascus හි ගුවන් තොටුපළවලට බෝම්බ හෙළීම වැනි ක්‍රියාමාර්ග ඊශ්‍රායල-හමාස් ගැටුම් වඩා පුළුල් කලාපයක් දක්වා ව්‍යාප්ත කිරීමේ ඉඩක් ද පවතින බවයි. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම