එක් තීරයක් එක් මාවතක් සංකල්පය කාර්යක්ෂම කරන්නේ සමස්ත ගෝලීය නිෂ්පාදන ක්‍රියාවලියයි- සොනාල ගුණවර්ධන
2023-10-16 15:43:52
Share with:

ඓතිහාසික සේද මාවත යළි පණ ගැන්වීමේ උත්සාහයක් ලෙස වත්මන් චීන ජනාධිපති ෂී ජින්පින් මහතා විසින් හඳුන්වා දුන් එක් තීරයක් - එක් මාවතක් සංකල්පයේ සාර්ථකත්වය මේ වන විට ගෝලීය සංවර්ධනය පුළුල් කිරීමට හේතුවක් වී ඇතැයි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති සොනාල ගුණවර්ධන මහතා සඳහන් කළේය. එහි දසවන සංවත්සරය මේ වන විට 100 කට ආසන්න රටවල් ගණනක නායකයන් සහ නියෝජිතයන් පිරිසක ගේ සහභාගිත්වයෙන් චීනයේ බෙයිජිං නුවර පැවැත්වේ.

2013 වසරේ ප්‍රකාශයට පත් වූ 'එක් තීරයක් - එක් මාවතක් (OBOR) ‘ සංකල්පයට අනුව චීනය ගොඩබිම් සහ මුහුදු මාර්ග ඔස්සේ ආසියාව, යුරෝපය සහ අප්‍රිකානු රටවල් සමග සම්බන්ධ වනු ඇත. ලෝක ආර්ථික සමුළුව පවසන පරිදි චීනය විදෙස් රටවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා පමණක් ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක මුදලක් ආයෝජනය කිරීමට සැලසුම් සාදා තිබේ. ලෝක බැංකු ඇගැයීමට අනුව, මේ වනවිට මෙම වැඩසටහන ලොව පුරා මිලියන 7.6ක ජනතාවකට අන්ත දරිද්‍රතාවයෙන් මිදීමටත්, මිලියන 40ක ජනතාවකට මධ්‍යස්ථ දරිද්‍රතාවයෙන් මිදීමටත්, චීන සමාගම් විසින් අදාළ රටවල ස්ථාපිත කරන ලද ආර්ථික හා වෙළෙඳ කලාප හරහා ප්‍රාදේශීය වශයෙන් රැකියා ලක්ෂ 4.2 උත්පාදනය කිරීමටත් උපකාර වී ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

එක් තීරයක් - එක් මාවතක් (OBOR) සංකල්පය ලෝකය පුරා ගොඩබිමින් සහ සාගරය හරහා විහිදී ඇති උපාය මාර්ගික ලෙස වැදගත්, ආර්ථික මර්මස්ථාන නිවැරදිව හඳුනා ගනිමින්, ඒවා ශක්තිමත් කරන උත්සාහයකි. එය ගොඩබිම හරහා රටවල් යා කෙරෙමින් ඒවා හරහා දිවයන අධිවේගී මාර්ග පද්ධතියක්, බලශක්ති නළ පද්ධතියක් සහ අනුබද්ධ ආර්ථික පහසුකම් හා විශේෂිත ආර්ථික කලාප සංවර්ධන වැඩසටහන් වන්නේය. මේ හරහා විශේෂිත ආර්ථික කලාප 50ක් සංවර්ධනය කිරීමට සහාය වීම චීනයේ අපේක්ෂාව වී ඇති බව ද ගුණවර්ධන මහතා පැවසීය.

චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුවේ සංඛ්‍යාලේඛනවලට අනුව ගෙවී ගිය වසර 10 තුළ රටවල් 152 ක් හා ජාත්‍යන්තර සංවිධාන 32 ක් සමග චීනය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කිරීමේ සහයෝගිතා ලේඛන 200 කට අධික ප්‍රමාණයකට අත්සන් තබා තිබේ. චීනය සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ගොඩනැගීමේ රටවලින් ඉන් සියයට 83 ක් ආවරණය වේ. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට සහභාගි වන බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් එය සංවර්ධන අවස්ථාවක් ලෙසට සලකන අතර, ඉන් ඔවුන් වඩාත් වැඩි සංවර්ධන විකල්පයන් ද අත්කර ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දී ඇතැයි සොනාල ගුණවර්ධන මහතා කියා සිටී.

මධ්‍යම සහ නැඟෙනහිර යුරෝපියානු රටවල්, චීනයේ එක් තීරයක් - එක් මාවතක් යටතේ බටහිර යුරෝපියානු රටවල් වන ඉතාලිය, ලක්සම්බර්ග් සහ පෘතුගාලය මේ වන විටත් චීන ආයෝජන සඳහා ගිවිසුම් අත්සන් තබා අවසන්ය. එම රටවල්වලට අනුව ඉදිකිරීම් සඳහා යුරෝපියානු සහ ඇමරිකානු සමාගම් සමඟ තරග කිරීමට, චීනයට ඉඩ ලබා දීම එම ආයෝජනවල ගුණාත්මක වෙනසකට හේතුවනු ඇත. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවා එක් තීරයක් - එක් මාවතක් වැඩසටහන සමඟ ධනාත්මක එකඟතාවකට කැමැත්ත පළ කර ඇත. රුසියාවේ “යුරෝ - ආසියානු” දැක්ම සමඟ චීන එක් තීරයක් - එක් මාවතක් වැඩසටහනට එකට ගමන් කළ හැකි බව ඔහුගේ විශ්වාසයයි.

පසුගියදා එංගලන්තයේදී නිමා වූ ජී - 7 සමුළුවේදී හා බ්‍රසල්ස් නුවරදී නිමාව දුටු නේටෝ සමුළුවලදී ද නව වටයකින් චීනයට ප්‍රහාරය එල්ල කිරීම ආරම්භ වී ඇත. චීනයේ සංවර්ධන උපාය මාර්ගය තුළින් ලෝකයේ සංවර්ධිත රටවල් සඳහා යම් වෙනස් පෙලඹවීමක් ඇති කරන්නේ නම් එය පහළ හා මැදි ආදායම් රටවල් කෙරේ යහපත් ආකාරයකට බලපානු ඇති බවද ගුණවර්ධන මහතා කියා සිටී.

එක් තීරයක් - එක් මාවතක් සංකල්පය යටතේ නිශ්චිත උපාය මාර්ගික ස්ථාන පදනම් කරගත් නවීන යටිතල පහසුකම් හා මහාද්වීප යා කෙරෙන මහා මාර්ග පද්ධතියක් හා නාවික කේන්ද්‍රස්ථාන යා කෙරෙන වරාය සංවර්ධන වැඩපිළිවෙළක් මගින් ජාත්‍යන්තර වෙළෙඳාම සහ ආර්ථික කටයුතු පහසු සහ ඉක්මන් කෙරෙන අතර වඩා ලාභදායී සහ ඵලදායී සේවාවකට ඉඩ විවෘත කරයි. එය ගෝලීය සැපයුම් ජාලය ශක්තිමත් කරන්නකි. එසේම, චීනය මෙම සංකල්පයේ නිර්මාතෘ වුව ද, එමගින් ලැබෙන ප්‍රතිලාභ චීනය මුල් කරගත් එකක් නොවේ. එය කාර්යක්ෂම කරන්නේ සමස්ත ගෝලීය නිෂ්පාදන ක්‍රියාවලිය වීම ඉතා වැදගත් බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති සොනාල ගුණවර්ධන මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම