පලස්තීන ප්‍රශ්නය විසඳීම සඳහා පවතින එකම මාර්ගය ‘ද්වි රාජ්‍ය සැලසුම’ යි
2023-10-15 17:42:32
Share with:

පලස්තීන ඊශ්‍රායල ගැටුම යළි ආරම්භ වී සතියකට වැඩි කාලයක් ගත වී තිබේ. ගැටුමෙන් දෙපාර්ශ්වයේ ම 3500 ක පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. ගාසා තීරයේ මානුෂවාදී තත්ත්වය උග්‍රව අයහපත් වෙමින් පවතින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ද අනතුරු අඟවා ඇත.

‘ද්වි රාජ්‍ය විසඳුම’ පලස්තීන ප්‍රශ්නය විසඳීම සඳහා ඇති මූලික ක්‍රමය බව පැවසිය හැකිය.  ජගත් ප්‍රජාව පොදුවේ පිළිගන්නා ‘ද්වි රාජ්‍ය විසඳුම’යනු, 1967 වසරේ නියම කෙරුණු දේශසීමා මායිම් මත පදනම් ව නැගෙනහිර ජෙරුසලම් නගරය, අගනගරය ලෙස පිළිගත් පූර්ණ ස්වෛරීභාවය ඇති ස්වාධීන පලස්තීනයක් පිහිටුවීමය.

එහෙත්, ගෙවී ගිය වසර දහයකට වැඩි කාලය තුළ, යුදෙව් ජාතිකයෝ විශාල සංඛ්‍යාවක් ජෝර්දාන ග‍ඟේ බටහිර ඉවුරට පැමිණ නීති විරෝධීව වාසස්ථාන ගොඩනගා එහි පදිංචි වූහ. එම තත්ත්වය යටතේ ඊශ්‍රායලය තුළ අන්තවාදී හඬක් නැගිණ. ‘ඊශ්‍රායලයක් පමණක් පවතින අයුරින්, ජෝර්දාන ග‍ඟේ බටහිර ඉවුරේ සිදුකෙරුණු අත්පත් කරගැනීම් එලෙසම පවත්වා ගැනීම’, නැතහොත් ‘පලස්තීන සමාජය බෙදා වෙන්කරමින් බටහිර ඉවුරේ පලස්තීන රාජ්‍ය කිහිපයක් ගොඩනැගීම’ යන අදහස් එම අන්තවාදී ආකල්ප තීව්‍ර කළේය. 

මේ අතරතුර තම දේශීය දේශපාලන අවශ්‍යතාව සහ තමන් ක්‍රියාවට නංවන ගෝලීය උපායමාර්ගය පමණක් සලකන ඇමරිකාව පලස්තීනයේ සාධාරණ අයිතීන් නොතකා ඊශ්‍රායලයට මුළුමනින්ම සහාය දක්වා තිබේ. මැදපෙරදිග සාම ක්‍රියාදාමය නිවැරදි මාර්ගයෙන් ඈත්වීමට ඇමරිකාවේ මැදිහත්වීම් ද හේතු වී තිබේ.

පලස්තීනය හා ඊශ්‍රායලය අතර යළි හටගත් යුදමය තත්ත්වය හමුවේ ‘ද්වි රාජ්‍ය විසඳුම’ ක්‍රියාත්මක කිරීම අභියෝග රැසකට මුහුණ පා ඇති බව පැහැදිලි ය. එහෙත් අදාළ ප්‍රශ්නය විසඳීම සඳහා ජගත් ප්‍රජාව එකඟ වූ, වෙනත් ආදේශක නොමැති එකම මාර්ගය එය ම බව ඉඳුරා පැවසිය හැකි ය. 

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම