ඊශ්‍රායල ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා සාමූහික ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව සිරියානු ජනපති අවධාරණය කරයි
2023-10-14 17:10:10
Share with:

ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා සාමූහික ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් ගත යුතු බව සිරියානු ජනාධිපති Bashar al-Assad මහතා පවසයි.

එසේම පලස්තීන ජනතාවට තම රටේ සහයෝගිතාව පළකරන බව ද ඔහු පවසා ඇතැයි එරට රජයේ ප්‍රවෘත්ති ඒජන්සිය වන SANA වාර්තා කර ඇත.

ගාසා තීරයේ සිවිල් වැසියන්ට එරෙහිව ඊශ්‍රායල හමුදාව එල්ල කරන “ප්‍රචණ්ඩකාරී සහ හිතුමතේ කරන ප්‍රහාර”  තමා හෙළාදකින බව ද ජනාධිපතිවරයා පැවසීය. ඔහු මේ බව කියාසිටියේ එරට සංචාරයක නිරත ඉරාන විදේශ අමාත්‍ය Hossein Amir-Abdollahian මහතා සමඟ පැවති සාකච්ඡාවේ දී ය.

 ඊශ්‍රායල හමුදා සහ ඔවුන්ගේ බටහිර සහචරයන්ට පලස්තීන අයිතීන් අඛණ්ඩව මර්දනය කිරීම සඳහා ඉඩ දී ජාත්‍යන්තර ප්‍රජාව බලාසිටින තාක් කල් කලාපීය ස්ථාවරත්වය අවදානම් සහගත වනු ඇතැයි ද සිරියානු ජනාධිපතිවරයා පැවසීය. 

ඔහුට එකඟතාව පළකරමින් ඉරාන විදේශ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ පලස්තීන ජනතාවට එරෙහිව ඊශ්‍රායල හමුදා එල්ල කරන අඛණ්ඩ අසාධාරණ ප්‍රහාර අවසන් කිරීම සඳහා ගෝලීය ප්‍රයත්න දැඩි කිරීම  අතිශය තීරණාත්මක අවශ්‍යතාවක් වන බවයි. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම