සමස්ත ලෝකයේ ආර්ථික පුනරුදයට එක් තීරයක් එක් මාවතක් ප්‍රබල සාධකයක්- මහාචාර්ය ජනක් කුමාරසිංහ
2023-10-12 10:17:37
Share with:

21 වන සියවසේ වඩාත් වැදගත් යටිතල පහසුකම් සහ ආර්ථික සංවර්ධන වලින් එකක් ලෙස 2013 වසරේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් දියත් කරන ලද එක් තීරයක් එක් මාවතක් වැඩසටහන හැඳින්විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරන අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා කියා සිටී. මෙය චීනය යුරෝපය, ආසියාව, අප්‍රිකාව සහ ඉන් ඔබ්බට මේ රටවල් සම්බන්ධ කිරීමට ඇති කර ගත් මාවතකි. ඒ ඔස්සේ දුම්රිය මාර්ග, මහා මාර්ග, වරාය, ජල මාර්ග, විදුලි සංදේශ ජාල ඇතුළු විශාල ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කෙරේ. සේද මාවත ඔස්සේ ආර්ථික තීරයන් එකට යා කිරීම සහ සමුද්‍රීය මාවත ඔස්සේ රටවල් අතර අන්තර් සම්බන්ධතාවය ගොඩනැඟීම යන ප්‍රධාන කොටස් දෙකකි. එක් තීරයක් එක් මාවතක් ඔස්සේ චීනයෙන් ඔබ්බට සමස්ථ ලෝකයටම ප්‍රතිලාභ ලබා දීම සිදු කෙරෙන බව ද මහාචාර්ය කුමාරසිංහ මහතා පැවසීය.

වැඩි දියුණු කරන ලද අන්තර් සම්බන්ධතාවයන් ඔස්සේ නවීන ප්‍රවාහන සහ යටිතල පහසුකම් ගොඩනැගීම මගින් විශේෂයෙන්ම අන්තර් භාණ්ඩ හුවමාරුවට අඩු වියදම් සහිත මගී ප්‍රවාහනයට ඉතා කාර්යක්ෂම හා ක්‍රම ලෝකයට හඳුන්වා දී තිබීම තුළ සමස්ථ ලෝකයටම ආර්ථික ප්‍රතිලාභ ලබා දීමට මෙම ව්‍යාපෘතිය උපකාර වී ඇත. නව වෙළඳ කොරිඩෝවක් විවෘත වීමෙන් ආර්ථික වර්ධනය සහ වෙළඳාමෙන් ඒ ඒ රටවල ආර්ථික ප්‍රගමනයට ඉහළ සේවාවක් සිදු වේ. විශේෂයෙන්ම චීනය ඇතුළු අනෙකුත් රටවල්වලට සහ සහභාගිවන සියළු රටවල් අතර නව වෙළඳ සහ ආර්ථික ස‍හ‍යෝගිතාවන් වැඩිදියුණු කිරීම තුළ බොහෝ ජාතීන්ට නව වෙළඳපොළ හඳුනාගැනීමටත් ඊට ප්‍රවේශවීමටත් මාර්ගයක් හමුවීමෙන් ඔවුන්ගේ අපනයන ධාරිතාවන් පුළුල් වීමට අවකාශ සැලසී ඇති බව ද මහාචාර්ය කුමාරසිංහ මහතා පැවසීය.

මුළු ලෝකයම සටන් කරන දිළිඳුකම තුරන් කිරීමට විශාල උත්තේජනයක් සහ තීරණාත්මක කාර්යභාරයක් මේ තුළ ඉටු වීම ද තවත් ප්‍රතිලාභයකි. එයට ප්‍රධානම හේතුව නම් යටිතල පහසුකම් සංවර්ධනය, ප්‍රවාහනය, නව වෙළඳපොල හඳුනාගැනීම, අඩු පහසුකම් සහිත ප්‍රජාවන්ට ආර්ථිකය සවිබලගන්වා ගැනීමට විශාල දායකත්වයක් ලබා දීමයි. මෙමගින් සෞඛ්‍ය, අධ්‍යාපනය, නව රැකියා උත්පාදනය වැනි අවස්ථා ජනිත වේ. සෘජු විදේශ ආයෝජනය රටවල් අතරට ගලා ඒම තුළ විශේෂයෙන්ම චීනය විසින් මේ රටවල්වලට ආකර්ශනීය සෘජු ආයෝජන ලබා  දීම නිසා මේ දෙස බලා සිටින අනෙකුත් රටවල් ද එම මාර්ගය ඔස්සේ ඇති රටවලට විශාල ආර්ථික ආ‍යෝජන ලබා දී තිබේ.

මේ සේද මාවත ඔස්සේ නව සංස්කෘතික පිබිදීමක් සඳහා විශාල ඉඩකඩක් පවතී. භෞතික යටිතල පහසුකම් වලට එහා ගිය සංස්කෘතික හුවමාරුව, සංස්කෘතිය පිබිදීම, අධ්‍යාපනික හුවමාරුව, අන්‍යෝන්‍ය අවබෝධය සඳහා ඇති අවස්ථාව සහ ප්‍රවේශය වැඩි කර තිබේ. රටවල් අතර මෙන්ම මානුෂික සබඳතා ප්‍රවර්ධනයට විශාල අවස්ථාවක් එමඟින් හිමි වේ.

මේ ව්‍යාපෘතිය ඔස්සේ සිදු කෙරෙන සියළු ආයෝජන පරිසරයට හානි නොවන හරිත තිරසර සංවර්ධනය, සැලසුම්කරණය වැනි පරිසර හිතකාමී භාවිතයන්ට ප්‍රමුඛතාව ලබා දී  ඇත. මේ ඔස්සේ සිදු වන කලාපීය භූ දේශපාලන ස්ථාවරත්වය ගෝලීය සංවර්ධනයට ගෝලීය පිබීදීමකට මඟ පෑදේ. විශාල බහුකාර්ය යෝජනාවලියක් ලෙස මෙය හැඳින්විය හැකිය. වඩා වැදගත් වන්නේ තම රටවල සැලසුම් ඉදිරියට ගෙන එමින් මේ වැඩපිළිවෙළ සමග ඉදිරියට ගමන් කිරීම බව එක් තීරයක් එක් මාවතක් දස වන සංවත්සරයට සුබ පැතුම් එක් කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරන අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ  මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම