21 වන සියවසේ සමෘද්ධිමත් සංවර්ධන උපායමාර්ගික වැඩසටහන එක් තීරයක් එක් මාවතක් වැඩසටහනයි- මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද
2023-10-11 16:09:18
Share with:

එක් තීරයක් එක් මාවතක් වැඩසටහනේ පළමු දශකය සමරන අවස්ථාවේ ලෝකයේ ඒ පිළිබඳ සුබවාදී කතා බවක් ඇති වී තිබේ. 2013 වසරේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ වූ අතර ආසියාව, අප්‍රිකාව, යුරෝපය සහ වෙනත් කලාපයන්ට අන්තර් සම්බන්ධතාව පුළුල් කිරීමට මෙම වැඩසටහන විශාල ශක්තියක් වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහතා පැවසීය.

21 වන සියවසේ සමෘද්ධිමත් සංවර්ධන උපායමාර්ගික වැඩසටහනක් ලෙස මෙය කරුණු ගණනාවක් යටතේ හඳුනාගත හැකිය. යටිතල පහසුකම් සංවර්ධනයේ සැලකිය යුතු ප්‍රගතියක් මේ වන විට අත්කර ගෙන ඇති අතර සහභාගී වන රටවල්හි බොහෝ වරායන්, දුම්රිය මාර්ග, මහා මාර්ග සහ ගුවන් තොටුපළවල් ඉදිකිරීමට හෝ වැඩිදියුණු කිරීමට මෙම ව්‍යාපෘතියෙන් අවස්ථාව සැලසී තිබේ. එය කලාපයේ සම්බන්ධතා, වෙළඳ පහසුකම් සහ කලාපීය ඒකාබද්ධතාවය වැඩිදියුණු කිරීමට හේතුවක් වී ඇති බව ද මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහතා මහතා කියා සිටී.

චීනය සහ සාමාජික සෙසු රටවල් අතර වෙළඳාම සහ ආයෝජන වැඩි දියුණු කිරීම එක් තීරයක් එක් මාවතක් වැඩසටහනේ තවත් අරමුණකි. චීනයේ ආයෝජන සහ සංවර්ධන බැංකු හරහා ලබා දී ඇති මූල්‍ය පහසුකම් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. පසුගිය දශකය තුළ චීනය සහ සාමාජික රටවල් අතර වෙළඳ පරිමාවන් සැලකිය යුතු ලෙස ඉහළ නංවා තිබේ. චීන ආයෝජන ද වර්ධනය වීම තුළ ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ රැකියා අවස්ථා නිර්මාණය කිරීමට එක් තීරයක් එක් මාවතක් වැඩසටහනෙන් විශාල පිටුබලයක් ලැබී ඇති බවද  මහාචාර්ය හීන්කෙන්ද මහතා පැවසීය.

ආර්ථික සහයෝගතාව හරහා නව ආර්ථික කලාප ඇති කිරීම, කර්මාන්ත උධ්‍යාන වැනි ව්‍යාපෘති හරහා සෘජු විදේශ ආයෝජන කැඳවීමටත්, විශේෂ රැකියා අවස්ථා ජනිත කිරීමටත් මෙම ව්‍යාපෘතිය මග පෙන්වා ඇත. එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතියේ තවත් වැදගත් අංගයක් ලෙස මූල්‍යමය සම්බන්ධතාව හඳුනාගත හැකිය. විවිධ බැංකු අතර සබඳතාව, මහ බැංකු හරහා විවිධ රටවල මූල්‍යමය ස්ථාවරත්වය ඇති කිරීම එහිදී ක්‍රියාත්මක වූ අතිශය වැදගත් කාර්යන් ලෙස හඳුනාගත හැකි බව ද හෙතෙම කියා සිටී.

බලශක්ති යටිතල පහසුකම් සංවර්ධනය සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ඇතුළුව බලශක්ති සහයෝගීතාව අවධාරණය කිරීම එක් තීරයක් එක් මාවතක් වැඩසටහනේ න්‍යාය පත්‍රයේ ඇති තවත් වැදගත් ව්‍යාපෘතියක් බව ද ඔහු පැවසීය. චීනය සාමාජික රටවල බලාගාර, නල මාර්ග සහ අනෙකුත් බලශක්ති සම්බන්ධ ව්‍යාපෘති සඳහා ආයෝජනය කර ඇත. මෙම සහයෝගීතාවය බලශක්ති ඉල්ලීම් විසඳීමට සහ පිරිසිදු බලශක්ති ප්‍රභවයන් භාවිතය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වී තිබේ.

සංස්කෘතික සහ අධ්‍යාපනික හුවමාරු එක් තීරයක් එක් මාවතක් වැඩසටහනේ  අත්‍යවශ්‍ය අංගයකි. මිනිසුන් අතර හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහා ශිෂ්‍යත්ව, පුහුණු වැඩසටහන් සහ අධ්‍යයන සහයෝගීතා ස්ථාපිත කර ඇත. රටවල් ගණනාවක් අතර අධ්‍යයන ක්ෂේත්‍රයේ, පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනයට මෙය හේතුවක් වී තිබේ. ගෝලීය ආරක්ෂාව සහ ගෝලීය ශිෂ්ටාචාරය නැවත කියවීම, විශ්වයේ වටිනාකම් සඳහා අවස්ථාව ලබා දීම වැනි ඉතාමත් ඉහළ මට්ට‍මේ සංවර්ධන උපායමාර්ග කෙරෙහි අවධානය යොමු කර තිබේ. ධරණීය සංවර්ධනයේ පාරිසරික බලපෑම අවම කිරීම, විනිවිදභාවය, යහපාලනයේ ගුණාංග කෙරෙහි මෙම ව්‍යාපෘතියේ ඉහළ අවධානයක් පෙන්නුම් කරයි. එම නිසා නව ලෝක අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි මෙම ව්‍යාපෘතිය තවත් දශක ගණනාවක් ඉදිරියට ගොස් චීනය අවට රටවලට පමණක් නොව සෙසු රටවලත් මිත්‍රත්වයට, අධ්‍යාපන අවකාශ පුළුල් කිරීමට විශාල තෝතැන්නක් වනු ඇති අතර ඉදිරි අංග නවීනත්වයෙන් පොහොසත්ව තව දුරටත් ලෝක සෞභාග්‍යයට චීනය ආරම්භ කළ මෙම අභිලාෂකාමී ව්‍යාපෘතිය හේතුවක් වනු ඇතැයි විශ්වාස කරන බව ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම