ඉන්දු - ලංකා මගී යාත්‍රා සේවය ඇරඹේ
2023-10-10 14:48:04
Share with:

ඉන්දියාවේ නාගපට්නම් සහ කන්කසන්තුරේ අතර චෙරියපානි අධිවේගී මගී යාත්‍රා සේවය ඇරඹේ. එය අද (10) සිට ක්‍රියාත්මක වේ.

එම මගී යාත්‍රා සේවයේ අත්හදා බැලීම් චාරිකාවක් ඉකුත් 8 වැනිදා සිදුකෙරිණ. චෙරියපානි යාත්‍රාව අද (10) දහවල් 12.30 ට නාගපට්නම් වරායේ සිට කන්කසන්තුරේ වරායට සේන්දු විය. එහි මංගල චාරිකාවට මගීන් 50 කට ආසන්න පිරිසක් එක්වූහ. යාත්‍රාව පස්වරු 4.00 ට නාගපට්නම් බලා යාත්‍රා කෙරෙනු ඇතැයි වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ඉන්දියානු නැව් සංස්ථාවට අයත් දිගින් මීටර් 35 ක් සහ පළලින් මීටර් 9.6 ක් වන චෙරියපානි යාත්‍රාවෙන් මගීන් 150 ක් රැගෙන යා හැකිය.

නාගපට්නම් සිට කන්කසන්තුරේ වරායට යාත්‍රා කිරීමට පැය හතරක පමණ කාලයක් ගත වේ. එක් ගමන් වාරයක් සඳහා ශ්‍රී ලංකා රුපියල් 26,750ක් ද, යන එන ගමන් වාර දෙකක් සඳහා ශ්‍රී ලංකා රුපියල් 53,500ක් ද අයකෙරෙන අතර,  මගියෙකුට කිලෝ 50 ක බරකින් යුතු භාණ්ඩ රැගෙන යා හැකි බව මගී යාත්‍රා සේවා බලධාරීහු පවසති.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම