ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ අමාත්‍ය මණ්ඩල රැස්වීම මෙරට සත්කාරකත්වයෙන්
2023-10-09 16:25:57
Share with:

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ 23 වන අමාත්‍ය මණ්ඩල රැස්වීම 11 වැනිදා කොළඹ දී පැවැත්වෙයි. ඒ සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් මෙන්ම අනෙකුත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙනි.

1997 දී පිහිටුවන ලද ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය යනු ඉන්දියන් සාගරය ආශ්‍රිත ව පිහිටි රාජ්‍යයන්ගෙන් සුසැදි අන්තර් රාජ්‍ය සංවිධානයකි. අප්‍රිකාව, බටහිර ආසියාව, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ ඕෂනියාව යන කලාපවලට අයත් රටවල් එහි සාමාජිකත්වය දරයි. අද වන විට එහි සාමාජිකත්වය සාමාජික රටවල් 23 ක් සහ සංවාද හවුල්කරුවන් 11ක් දක්වා ව්‍යාප්ත වී ඇත. 

මෙවර පැවැත්වෙන අමාත්‍යවරුන්ගේ කවුන්සිලයේ 23 වැනි රැස්වීම අතරතුර ශ්‍රී ලංකාව 2023 සිට 2025 දක්වා කාලය සඳහා මෙම සංගමයේ සභාපතිත්වය භාරගනු ඇත. ඒ අනුව, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා මෙම කවුන්සිලයේ මුලසුන දැරීමට නියමිත යි.

වෙළඳාම හා ආයෝජන, සමුද්‍රීය ආරක්ෂාව, ධීවර කටයුතු හා ආපදා අවදානම් කළමනාකරණය  සහ හරිත ආර්ථිකය ඇතුළු ව සංගමය හඳුනාගෙන ඇති ප්‍රමුඛතා ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම