"එක් තීරයක් එක් මාවතක් යනු ලෝකය ම සහයෝගිතාවයෙන් යා කරන සංවර්ධන මාවතකි"
2023-10-07 10:42:32
Share with:

තම රටේ වත්මන් දේශීය සංවර්ධන ප්‍රයත්නවල දී පුරාණ වියතුන්ගේ ඥාන සම්භාරය බැහැර නොකළ චීනය, සෑමවිටම එම සම්ප්‍රදායන් නවීනත්වයට ගැලපෙන සේ සකසා ගත් රාජ්‍යයකි. ඒ අනුව යමින්, ජාත්‍යන්තර තලයේ හුවමාරු හා සබඳතා පුළුල් කිරීමේදීත් අතීත සේද මාවතට යළි අර්ථකථනයක් සපයමින් චීනය ලොවට ගෙන ආ පුළුල් වැඩපිළිවෙළක් ලෙස 'එක් තීරයක් එක් මාවතක්' මුලපිරුම හඳුන්වාදිය හැකි බව ප්‍රවීණ මාධ්‍යවේදී සමන් විජේසේකර මහතා කියාසිටී.

21 වැනි සියවසේ සමුද්‍රීය සේද මාවතක් හා ගොඩබිම් ආර්ථික තීරයක්  ගොඩනගමින් අනෙකුත් රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා වන මෙම යෝජනාව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් ඉදිරිපත් කෙරුණේ මීට දස වසකට පෙරයි.

එය, සැබැවින්ම මූලෝපායික සංවර්ධන මුලපිරුමකි. එසේම, එය වත්මන් යුගයේ චීනය ක්‍රියාවට නංවන සමස්ත විවෘතභාවයේ ප්‍රධාන පියවරක් ද වේ. විවිධ විපර්යාසයන්ට මුහුණපාන වත්මන් ලෝකයේ සියලුදෙනාට ඇත්තේ පොදු ඉරණමක් බව චීන නායකයා පෙන්වා දී තිබේ. ඒ අනුව එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘති ඒකාබද්ධව දියත් කෙරුණේ එම විපර්යාස හා අභියෝග එක්ව ජයගැනීමේ අරමුණ සහිතවයි. මේ නිසා එම වැඩපිළිවෙළ, 'පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සඳහා' වැදගත් වේදිකාවක් ලෙස ද ක්‍රියාකරන බව ද විජේසේකර මහතා පෙන්වාදෙයි.

වර්තමානය වනවිට ලොව රටවල් 150 කට අධික ප්‍රමාණයක් එක් තීරයක් එක් මාවතක් මුලපිරුම සමග ගිවිසුම්ගතව විවිධ ව්‍යාපෘති අරඹා ඇත. චීන - ලාඕස දුම්රිය මාර්ගය, ජකර්තා - බැංඩුං අධිවේගී මාර්ගය, පකිස්තාන ආර්ථික කොරිඩෝව, අප රටේ කොළඹ වරාය නගරය වැනි ව්‍යාපෘති ඒ ඒ රටවල සංවර්ධන ප්‍රයත්නවලදී සන්ධිස්ථානගත කාර්යභාරයක් ඉටුකරනු නොඅනුමාන බව ද  හෙතෙම කියාසිටී.

එක් තීරයක් එක් මාවතක් චීනය විසින් අරඹන ලද්දක් වුවත් එය දැන් සමස්ත ලෝකයටම අයත් පොදු වැඩපිළිවෙළක් බවට පත්ව අවසන්ය. යටිතල පහසුකම් සංවර්ධනය, බාධා රහිත වෙළඳාම, සමීප මානව සබඳතා සහ හුවමාරු සහතික කරන මේ වැඩපිළිවෙළ ලොව සියලු පාර්ශ්ව එක් කරමින් පොදු යහපත සලසයි.

එක් තීරයක් එක් මාවතක් මුලපිරුම ලෝක ආර්ථික වර්ධනයට වැඩි ශක්තියක් සපයන අතර, ජාත්‍යන්තර ආර්ථික සහයෝගිතාව සඳහා පුළුල් අවකාශයක් නිර්මාණය කිරීම අතිශය ප්‍රශංසනීය බව ද ප්‍රවීණ මාධ්‍යවේදී සමන් විජේසේකර මහතා පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම