වසර 21කට පසු ආසියානු ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්
2023-10-05 16:51:40
Share with:

චීනයේ හන්ජෝ නුවර ඔලිම්පික් ක්‍රීඩා මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේ ඊයේ(4) පැවති කාන්තා මීටර් 800 ඉසව්වේදී රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ තරුෂි කරුණාරත්න ඉන් විනාඩි 50කට පසුව කාන්තා මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායම සමඟ එක්ව ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

ඊයේ(4) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.55ට මීටර් 800 ඉසව්වට එක් වූ තරුෂි විනාඩි 2:02:20ක කාලයකින් රන් පදක්කම දිනාගත් අතර, අනතුරුව මෙරට වේලාවෙන් පස්වරු 5.45ට මීටර් 400 සහාය දිවීමේ කාන්තා ඉසව්වට එක් වෙමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

තරුෂි මීටර් 800න් දිනාගත් රන් පදක්කම ආසියානු ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ මීටර් 800 කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාව දිනාගත් පළමු රන් පදක්කම වීමද විශේෂත්වයකි.

එමෙන්ම ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා රන් පදක්කමක් දිනාගත්තේ වසර 21කට පසුව වීමද කැපී පෙනේ. අවසන් වරට 2002 වසරේ දකුණු කොරියාවේ බූෂාන්හිදී ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ සහ දමයන්ති දර්ශා රන් පදක්කම් දිනා ගෙන තිබිණ. මෙය ආසියානු ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනාගත් 12 වැනි රන් පදක්කමයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම