සංවර්ධනය වෙමින් පවතින රටවලට සංවර්ධනයේ අරුණලු උදා කළ ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ
2023-09-27 16:46:51
Share with:

සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ඉදිරිපත් කෙරුණු කාලීන මෙන්ම සාර්ථකම සංවර්ධන මාදිලිය ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩසටහන බව  ප්‍රවීණ මාධ්‍යවේදී රමේෂ් වරල්ලේගම මහතා කියාසිටී. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා 2013 වසරේ ලොවට ඉදිරිපත් කළ මෙම සංකල්පය මේ වනවිට ලොව රටවල් 152 කට අධික සංඛ්‍යාවක් පුරා ව්‍යාප්ත ව ඇත්තේ,  එය හිමි කරගත් විශ්වසනීයත්වය නිසාය.

අභියෝග සහ අනපේක්ෂිත අර්බුදවලින් සපිරි වර්තමාන ලෝකයේ සංවර්ධන ජයග්‍රහණ සාක්ෂාත් කිරීම පහසු නැත. එහෙත් සෑම රටකට ම සංවර්ධනය වීම සඳහා අයිතියක් තිබේ. මෙය සෑමවිටම වත්මන් චීන නායක ෂී ජින්පිං මහතා අවධාරණය කරන කරුණකි. සංවර්ධනය හිමිවිය යුත්තේ ලෝකයේ එක් කාණ්ඩයකට හෝ කලාපයකට පමණක් නොවේය යන්න ඔහු නිරන්තරයෙන්ම ඉස්මතු කරන වැදගත් අදහසකි. මේ මතය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත්කිරීම උදෙසා  හෙතෙම එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ලොවට හඳුන්වා දුන්නේය. ඒ, ඒකාබද්ධ යටිතල පහසුකම් ඉදිකිරීමේ ව්‍යාපෘති වශයෙනි. යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙන් බැහැර ව තිරසර දියුණුව අත්පත් කර ගත නොහැකි බව චීනය ලොවට පසක් කරවා ඇති බව ද වරල්ලේගම මහතා පෙන්වාදෙයි.

මේ සඳහා නිදසුන් රැසක් ආසියා ශාන්තිකර, නැගෙනහිර යුරෝපා සහ  අප්‍රිකානු කලාපවලින් ගෙන හැර පෑ හැකිය. ශ්‍රී ලංකාවේ වරාය නගරය, පකිස්තානයේ ආර්ථික කොරිඩෝව, කෙන්යාවේ සංවර්ධනය උදෙසා ඍජු මෙන්ම සාධනීය බලපෑම් එල්ල කරන මොම්බාසා - නයිරෝබි දුම්රිය මාර්ගය, බංග්ලාදේශයේ බලශක්ති අර්බුදයට විසඳුම් ගෙනා ශීලා ගංජි බලාගාර ව්‍යාපෘතිය, ඉන්දුනීසියාවේ ජකර්තා - බැංඩුං අධිවේගී මාර්ගය සහ  චීන - ලාඕස දුම්රිය මාර්ගය යනාදී වශයෙන් සමස්ත ලෝකයේම සංවර්ධනය තහවුරු කරන පුළුල් ව්‍යාපෘති රැසක් මීට ඇතුළත් ය. චීනයේ මූලිකත්වයෙන් ලොවට තිළිණ කෙරුණු එවන් ව්‍යාපෘති තවත් සියවස් ගණනාවක් ලෝක ප්‍රජාවට සෙත සලසනු ඇතැයි  ද වරල්ලේගම මහතා කියාසිටී.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ දස වැනි සංවත්සරය මෙන්ම ගෝලීය සංවර්ධනය සහතික කරන එහි සාර්ථක ඉදිරි ගමන වෙනුවෙන් සුබ ප්‍රාර්ථනය කරන බව ද ප්‍රවීණ මාධ්‍යවේදී රමේෂ් වරල්ලේගම මහතා පවසයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම